Saturday, December 10, 2011

ගාලු කොටුවේ සැගවුණු කළු කොටුව






” ගාල්ල සිහිනයකි. වැනිසියේ වෙළෙඳ පොළවල් කරා යන්නට තමනට මං සලසන භාණ්ඩ සොයා ඉන්දියාවෙන් එන මුස්ලිම් ජාතික වෙළෙඳුන් පිළිබඳ සිහිනය, චීනුන්ගේ ”ජන්ක්” යාත‍්‍රාවලින් ලබා ගන්නා ලද සේද පිළි මුතු මැණික් රන් අබරණ හා කුළුබඩු පටවා ගන්නා අරාබි යාත‍්‍රා පිළිබඳ සිහිනය, යෙරුසලමේ පූජ්‍ය කන්ද බලා නික්ම යෑමට සූදානම්ව වාප්පුවල රොක් වී තිබෙන ඇත් දළ ද ම`ග බලා සිටින වඳුරන් හා මොනරුන් ද සොයා එන ඊජිප්තු, පර්සියානු, ගී‍්‍රක හා රෝම වෙළෙඳුන් පිළිබඳ සිහින ඒ අතර වෙයි. ” යනුවෙන් ගාල්ල වර්ණනා කළ විදෙස් ලේඛකයෝ සඳහන් කැර ඇත.
මේ සිහින නගරය තිබෙන ඉසව්වක් නොදත් පෘතුගීසීහු 1505 දී අහම්බෙන් ගාල්ල වරායට ගොඩබටහ. මෙසේ පැමිණි ඔවුහු ගාල්ලෙන් කොළඹ ගොස් කොළඹ කොටුව ඉඳිකොට මේ රටේ මුල් බැසගත් පසු 1594 දී යළි ගාල්ලට පැමිණ ගාල්ලේ වෙළෙඳ බලය සියතට ගනිමින් ද`ඩු වැටකින් කොටුවක් ඉඳිකළහ. අනතුරුව ද සාගේ සැලැස්මක් අනුව 1625 දී ඔවුන් ගාල්ලේ සම්පූර්ණ බළකොටුවක් ගොඩනැගූ අතර එය ශාන්ත කෲස් යනුවෙන් නම්කරන ලදී. ඔවුන්ම එය ෆොටලෙසා යන නමින් ද හඳුන්වා තිබේ.
ගාල්ලේ කොටුව ලන්දේසි මහ බළකොටවු ලෙස හඳුන්වන්නේ එය පසු කළෙක අල්ලාගත් ලන්දේසීන් විසින් විශාල කොට බැන්දවූ බැවිනි. වර්තමානයේ ද එදා පෘතුගීසීන් ඉඳිකළ ශාන්ත කෲස් බළකොටුව දක්නට ලැබේ.
ගල් අ`ගුරු යොදා ගනිමින් සිදු කළ ආයුධ හා උපකරණ නිෂ්පාදනය හේතුවෙන් නිරන්තරව කළු දුමෙන් වැසී තිබූ නිසාම කළු කොටුව ලෙස හැඳින්වෙන්නට වූ මෙම පෘතුගීසි කොටුව ගාල්ල කොටුවේ ඇති වඩාත් පැරණිතම ස්ථානයයි.
ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ග‍්‍රන්ථයක් ලියා ඇති පෘතුගීසි ජාතික ජොආඞ් රිබෙයිරෝ පවසන්නේ දෙපසින් මුහුදු තීරයෙන් ද, උතුරින් ගල් පර්වත පෙළකින් ද වට වූ, වෙනත් ආරක්ෂාවක් නොමැති භූමියක ශාන්ත කෲස් බලකොටුව ඉදිකැර ඇති බවයි. ඔහුගේ විස්තරයේ දක්වා ඇත්තේ වරායේ දකුණු පසින් උල්කරන ලද මුදුන් ඇති ගරාදි වැටකින් ද ඉදිරිපස දෙපැත්තේ මුහුදු වෙරළ සම්බන්ධ කරමින් කණින ලද දිය අගලකින් ද කොටුවට ආරක්ෂාව සළසා තිබූ බවයි.
ඉහළ පහළ එසවිය හැකි පාලමක් කොටුවට ඇතුළු වීම සඳහා නිර්මාණය කැර තිබිණි. කොටුවේ ආරක්ෂාව සඳහා මුර අට්ටාල තුනක් ද සාදා තිබී ඇත.
1640 දී මෙරටට පැමිණි ලන්දේසීහු ගාල්ල කොටුවට පහරදී එය අත්පත් කැරගත්හ. එයට නවාංග එකතු කරමින් ගාල්ල කොටුව විශාල කොට බැන්දවූ ලන්දේසීහු පෘතුගීසීන්ගේ ශාන්ත කෲස් කොටුව ස්වාට් බැස්ටියන හෙවත් ස්වාට් මුර අට්ටාලය ලෙස හඳුන්වන ලදී.
1796 දී ලන්දේසීන් විසින් ගිවිසුමක් මගින් ඉංගී‍්‍රසීන්ට තම ගාලූ කොටුව පවරා දීමෙන් පසු ඉංගී‍්‍රසීන් ද පෘතුගීසි කොටුව ඇතුළත හා සමස්ථ ගාලූ කොටුවේ විවිධ වෙනස් කම් කරන ලද්දේ එය සිය පාලන මධ්‍යස්ථානයක් ලෙස ද භාවිතා කරමිනි.
ගාලූ ඕලන්ද කොටුවේ ඊසාන දෙසින් ලන්දේසීන්ගේ එක් මුර අට්ටාලයක් ලෙස පමණක් හඳුන්වමින් තිබෙන පැරණි පෘතුගීසි බළකොටුව නෙදර්ලන්ත ආධාර යටතේ මධ්‍යම සංස්කෘතිකඅරමුදල විසින් සංරක්ෂණය කැර දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා හා සංරක්ෂණ නිලධාරීහු මෙම කොටසේ ඇති පැරණි පෘතුගීසි ඉදිකිරීම් මතුකැර ගැනීමට දැඩි උත්සාහයක් ගන්නා ලදී. ඔවුන්ගේ අපේක්ෂාව වූයේ එම ලක්ෂණ මතු පරපුරට හා දෙස් විදෙස් සංචාරකයන්ට දැක ගැනීමට සැළැස්වීමයි.
මේ වනවිට ගාලූ කොටු පවුර පුරාම ඕලන්ද හා ඉංගී‍්‍රසි යුගයන්හි නිර්මාණ දක්නට ලැබේ. පෘතුගීසි යුගයේ නිර්මාණ හා එම ලක්ෂණ ඉතිරිව ඇති එකම ස්ථානය වන්නේ ද පැරණි ශාන්ත කෲස් බළකොටුව පමණි.
කොටුව කැණීම් භාර නිලධාරී ඩබ්.කේ.සනත් මහතා ඒ පිළිබඳ මෙසේ කීවේය.
පෘතුගීසි කොටුව අධ්‍යයනය කිරීමේදී අපට පෙනී ගියා එය ඉතාමත්ම ක‍්‍රමවත්ව ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයට සාදා ඇති බව. ඇතුලත අවකාශය බෙදා වෙන්කිරීමේදී සියළුම බළකොටුවක සියළු අවශ්‍යතා පිළිබඳ සැළකිලිමත් වී තිබෙනවා. විශේෂයෙන්ම උපරිම ආරක්ෂාවක් සැලසෙන ආකාරයෙන් කිසිදු සතුරකුට ඇතුළුවිය නොහැකි ආකාරයෙන් මෙය සාදා තිබෙනවා.
සනත් මහතා පවසන්නේ පෘතුගීසීන් ලංකාවේ වෙරළබඩ ප‍්‍රදේශ පාලනය කළ කාලයට අයත් වෙනත් කිසිදු ස්ථානයක මෙවන් නිර්මාණයක් දැකිය නොහැකි බවයි.
ගාල්ල වරාය දෙසට පැමිණෙන සතුරු නෞකා වලට ප‍්‍රහාර එල්ල කළ හැකි ස්ථාන, ගොඩබිමින් පැමිණෙන සතුරන්ට පහරදිය හැකි ස්ථාන, භූගත උමං මාර්ග, ආයුධ ගබඩා, වෙඩි බෙහෙත් ගබඩා මෙන්ම සෙබළුන්ගේ නවාතැන් ස්ථාන පාලක නිලධාරීන්ට නවාතැන් ගැනීමට හා විවේකය ගත කිරීමට ද සුන්දර ස්ථාන පවා ඉතා සැළසුම් සහගතව ඉදිකැර තිබේ. එමෙන්ම සතුරකු ඇතුළු වුවහොත් හදිසියේම පලා යා හැකි රහස් දොරටු පවා පෘතුගීසි කොටුවේ තිබී ඇත.
කොරල් පර කොටස් හා හුණුගල් යොදා සකස් කරන ලද බිත්ති තවමත් මෙහි ඉතිරිව තිබේ.
සනත් මහතා කියා සිටියේ පස වැටී ඇහිරී ගොස් තිබූ බිම් ගෙවල් හා උමං මාර්ග පවා මතු කළ බවයි. එමෙන්ම පැරණි නිර්මාණ ද හැකිතාක් මුල් ආකාරයෙන්ම සංරක්ෂණය කොට තිබේ.
රුපියල් කෝටි ගණනක වියදම් කොට සංරක්ෂණය කළ ද ගාලූ කොටුවේ පිහිටි පැරණිතම නිර්මාණය මේ දක්වාම දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කොටනැත. දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති නිල නිවස්න හා කාර්යාලය පෘතුගීසි බළකොටුව ත-ුළ ස්ථානගත කොට තිබීම හේතුවෙන් එය මෙතෙක් මහජනයා සඳහා විවෘත කිරීම ගැටළුවක් වී තිබේ.
ගැටළුව වන්නේ ගාලූ කොටුවට පැමිණෙන පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, දේශීය සංචාරකයන් පමණක් නොව විදෙස් සංචාරකයන් පවා මෙවැනි වටිනා ස්ථානයක් ගාල්ල කොටුවේ තිබෙන්නේ ද යන්න නොදැනීමයි. එය දන්නා කිහිපදෙනකු ගාල්ල උසාවිය ඉදිරිපිට සිටිමින් හෝ ගාල්ල පැරණි වරාය ජැටියේ සිට හෝ පෘතුගීසි කොටුව පිටතින් නරඹා සෑහීමකට පත්වෙති. එහි ඇතුළුවිය හැක්කේ විශේෂ අවසරයක් ගැනීමෙන් පමණක් වීම මෙහි වටිනාකම අවප‍්‍රමාණ කිරීමක් ලෙස පුරාවිද්‍යා නිලධාරීහු පවසති.
ගාලූ උරුමය පදනමේ සභාපති පරාක‍්‍රම දහනායක මහතා මෙසේ කීවේය.
පැරණි පෘතුගීසි බළකොටුව ගාල්ල කොටුවේ ඇති ඉතා වැදගත් ස්ථානයක්. මේ ස්ථානය දැන් සංරක්ෂණය කැර තිබෙන නිසා එය සංචාරකයන් සඳහා විවෘත කිරීම අවශ්‍යයි. පෘතුගීසි ගෘහනිර්මාණ ලක්ෂණ මෙහි දක්නට ලැබෙනවා. ඒ නිසා එම ස්ථානය දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කළ යුතුයි. ගාලූ කොටුව නැරඹීමට එන පාසල් සිසු සිසුවියන් ද මෙය නැරඹිය යුතු ස්ථානයක්. මේ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදලත් කළු කොටුව නැරඹීම සහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කැර තිබෙනවා.
ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් වීම හේතුවෙන්ම ලෝකය පුරා ප‍්‍රසිද්ධියට පත්ව තිබූ ශී‍්‍ර ලංකාවේ වෙළඳ අධිකාරිය ලබා ගැනීමට උත්සාහගත් පෘතුගීසීන්ගේ පාලන කාලයේ කරන ලද ඉදිකිරීම් සම්බන්ධව මෙරට ඉතිරිව ඇති වැදගත්ම ස්ථානයක් වන ගාල්ලේ පෘතුගීසි බළකොටුව ලෝක ප‍්‍රජාවට විවෘත කළ යුතු වටිනා ස්ථානයකි.

No comments:

Post a Comment