Sunday, December 21, 2014

ඡන්දය ගැන ඇහෙන, දකින හා හිතෙන දේ (ගමට නොදැනෙන බොහෝ දේ ඇති බව මෙයින් පසක් විය) - 2

එදා සතියේ දිනයකි. ගාල්ලේ සිට උඩුගම පසුකර හිනිදුම් පත්තුවට යන ගමනේ දී අතර මග අපි උදෑසන කුමක් හෝ ආහාරයකින් සප්පායම් වී තේ එකක් බීමට කඩයක් අසළ නතර කලේ බඩ පණුවන් ද කරදර කරන්නට පටන්ගෙන තිබුණු බැවිනි.
තවමත් අප හිනිදුම කල්වරි කන්ද ආසන්නයට පැමිණියා පමණි. කාරය නැවැත්වූ ස්ථානයේ පසෙකින් ඇත්තේ කුඩා තේ කඩයකි. එහි දුම් දමමින් ඇති රොටි දුටු විට කටට කෙළ උණන්නේ නැත්නම් පුදුමයකි.
පොල් රොටි අතට ගත්විටම දැණුනේ එහි යහමින් පොල් ඇති බවයි. කොච්චි සම්බලත් තවරාගෙන උණු උණුවේ ම පොල් රොටි ගිල දැමීම ආශ්වාදජනකය. වට පිට බලද්දී පසෙක ඇත්තේ පොල් ගොඩකි. ඒවායේ ඇතැම් ඒවා පැලවෙමින් තිබේ. පුදුමයකි අපේ ගම් පලාතේ (ගාල්ලේ හපුගල) පොල් මෙලෙස පැලවෙන්නේ නැත. මට සිහිපත් වූයේ ඉන් දින දෙකකට පමණ පෙර යන්තම් දොඩම් ගෙඩියකට වඩා ලොකු පොල් ගෙඩි කිහිපයක් එකක් රුපියල් 45/= ගණනේ නිවසට ගෙන ආ අයුරුයි.
‘‘ මුදලාලි, මෙහේ පොල් කීය ද ? “ මම ඇසුවෙමි.
ඔහු දුන් පිළිතුර මට එළොව පොල් පෙනෙන්නක් විය.
‘‘ මහත්තයෝ මෙහේ පොල් විකුණන්නේ නැහැ. “
කියන්නට වචන හෝ අසන්නට තවත් වදනක් නැත. එළැඹෙන ජනාධිපතිවරණයේ දී පොල් මිල ගමට දැනෙන්නේ නැති බව නම් පැහැදිලිය.
මේ එහි දෙවැනි කතාවයි.
ඉදිරියේ දී මුද්‍රණයෙන් පිටකිරීමට අපේක්ෂිත පොතකට ඡායාරූප ගැනීමට අනුරාධපුරයට ගියෙමු. බිරිඳ හා කොල්ලන් දෙදෙනා ද මේ ගමනට එක්වූයේ පාසල් කටයුතු ද අමතක කර දමමිනි. නවාතැන් ගත්තේ ඥාති නිවසකය. එ් ගෙදර අප්පච්චී හද්දා ගැමියෙකි. ඒ වනවිට හාල් කිලෝවක් රුපියල් 84/= ඉහළ ගොසිනි.
අනුරාධපුරය යනු වී වගාව සිදුකරන ප්‍රදේශයකි. මේ නිවසේ අප්පච්චී ද කුඹුරු වැඩට ගොස් පැමිණ රාත්‍රියේ මා සමග කතාවට වැටුණේය.
‘‘ අප්පච්චි මේ පැත්තේ හාල් කිලෝ එක කීය ද ?“ මම ඇසුවෙමි.
‘‘ හාල් ? “
ඔහුගෙන් ප්‍රශ්නාර්ථයකි.
‘‘ දන්නෙ නෑ“
පුදුමයකි. කුඹුරු වගාකරන මඩට බහින ගොවියා හාල් කිලෝවේ මිල දන්නේ නැත.
‘‘ අපි හාල් සල්ලිවලට ගන්නෙ නැහැ මහත්තයෝ “ ඔහු බුලත් කහට බැඳුණු දත් විලිස්සා සිය අව්‍යාජ සිනහවෙන් මට සංග්‍රහ කරද්දී ගමේ හැටි නොදැන අනවශ්‍ය ප්‍රශ්න ඇසූ මම බිම බලාගත්තෙමි.
මේ ගමේ තත්ත්වයයි.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්දය දෙන ගැමියන්ට ජීවන වියදම තීරණාත්මක සාධකයක් නොවනු ඇත.
මෙය අපි සැවොම තේරුම්ගත යුතු සත්‍යයි.
නමුත් හැම ගමක් ම එසේ නොවන බව ද සිහිතබා ගත යුතුය.
ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් වැඩි කොටසක් තවමත් ජීවත් වන්නේ ග්‍රාමීයව බව අමතක නොකළ යුතුය.

Friday, December 19, 2014

ඡන්දය ගැන මට හිතෙන, දකින, ඇහෙන සියළු දේ

දැන් කාටත් මාර චූන්ය. ඒ තමන්ගේ පාලකයා තෝරාගැනීමේ අවස්ථාව ලැබී ඇති බැවිනි. රටේ නායකයා තෝරාගන්නවා යනු ලෙහෙසි කටයුතුක් යැයි මා නම් සිතන්නේ නැත. දැන් ඒ ගැන බොහෝ දෙනා කතා කරන්නේ වෙනත් කිසිදු වැඩක් තමන්ට ඇතැයි නොසිතමිනි. රටේ පාලකයා පත්කළ යුත්තේ කතා කරමින් නොව ඡන්දය පාවිච්චි කරමිනි. මේ බව අපේ බොහෝ දෙනකු එක්කෝ දන්නේ නැත. නැතිනම් ඒ ගැන හිතන්නේ නැත.
කෙසේ වෙතත් දැන් තිබෙන්නේ අපූරු සංදර්ශනයකි. හැමෝම හිතන්නේ ඔළුගෙඩි ටික ඒ පැත්තට මේ පැත්තට මාරු කරලා ඡන්දය දිනන්නය. ඔවුන් එසේ සිතීම ද නිවැරදිය. මට හිතෙන හැටියටනම් මෙරට මජහනයා තමන්ගේ ඡන්දයේ නියම වටිනාකම නොදන්නා බැවින් ඔවුන් එසේ කරයි.
ඒ පැත්තට මේ පැත්තට පනින්නන්ට කිසිදු ස්ථිර ප්‍රතිපත්තියක් නැත. එයට හොඳම උදාහරණය පසුගිය දා පැන්න විපක්ෂයේ ප්‍රබලයෙකි. ඔහු පනින්නට දින කිහිපයකට පෙරත් ආණ්ඩුව පතුරු ගැහුවේය. දැන් අන් සියළු දෙනාට වඩා ආණ්ඩුවේ ගුණ ගයන්නේ ඔහුය.
මේ අපේ රටේ තකතීරු දේශපාලනයයි. මේ විහිළු බලා සිට අපේ අය ද තකතීරු විදියට ඡන්දය පාවිච්චි කරන බව පසිගිය සෑම මැතිවරණය ක දී ම අපට පෙණුනේය. අපි ඡන්දය දිය යුත්තේ වැඩිපුර පිරිසක් පැන එකතු වූ පක්ෂය ට ද ? පැනීමේ රැල්ලට ද ?
නැත අපි තෝරන්නේ ඒ අවස්ථාවාදීන්ගේ බඩගෝස්තරය වර්ධනය කළ හැකි නායකයා නොවේය. අපේ නායකයාය. අපේ නායකයා තෝරන්නට ඒ කිසිවක් අපට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ අපේ සිහි බුද්ධියෙන් හිතා බලා ඡන්දය දිනයේ පැන්සල් කොටය භාවිතා කිරීම පමණි.
අඩුම ගණනේ රටේ නායකත්වය වෙනුවෙන් තරඟයක් දිය හැකියැයි සිතිය හැකි ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන, අරමුණු අපේක්ෂාවන් හා අතීතයේ කළ කී දෑ ගැන සොයා බලා සිතා බලා තක්සේරු කර ඡන්දය දෙන්නට අපි පුරුදු වෙමු
 නමුත් වේදනාව වන්නේ එය එසේ සිදු නොවීමයි. අද ලංකාවේ බොහෝ දෙනාගේ දේශපාලනය පැවත එන්නේ පවුලෙනි. ඒ බණ්ඩාරනායක පවුල හෝ රාජපක්ෂ පවුල හෝ සේනානායක පවුල ගැන හෝ කීවක් නොවේ.
තාත්තාගේ අම්මාගේ දේශපාලන දර්ශනය පුතාට හෝ දුවට ලැබීමයි. ඔවුන් දන්නේ තාත්තාගෙන් හා අම්මාගෙන් ඇසුණු දේශපාලන දර්ශනයක් පමණි. ඉන් එහාට සිතුවානම් සිතුවේ අම්මලා තාත්තලා නොකළ දේශපාලනයක් කළ ජේවීපී කාරයෝය. 
මේ පවුල් දේශපාලන ක්‍රමය නිසා ම ලංකාවේ යූඑන්පී කාරයෝ හා එස්එල්එෆ්පී කාරයෝ කියා හංවඩු ගැසුණු අය සිටිති. ඉන්නේ ඔවුන් පමණක් නම් රටේ කෝටි ගණන් මුදල් වියදම් කර ඡන්දයක් තිබිය යුතු නැත. අවශ්‍ය වන්නේ ජන සංඛ්‍යාලේඛණ දත්ත පමණි.
නමුත් එසේ නොවේ. ඉදහිට එක් පැත්කට හෝ අනෙක් පැත්තකට ඡන්දය දෙන්නවුන් සිටිති. නැතිනම් නොදීම ඉන්නවුන් ද කුරුටු ගාන්නවුන් ද සිටිති.
මා නම් සිතන්නේ සැවොම ඡන්දය භාවිතා කළ යුතුය. තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය දිය යුතුය. මේ කැමැත්ත තීරණය විය යුත්තේ වැඩි දෙනාගේ කැමැත්ත ලැබීම අනුව නොව ප්‍රතිපත්ති හා ඔවුන් ගැන විශ්වාසය තැබීමේ හැකියාව මතය.
රැල්ලට, පරණ පුරුද්දට, ඡන්දය නොදී අනාගතය, ප්‍රතිපත්ති, හැකියාව ගැන සොයා බලමු.
ඡන්දයක නියම ප්‍රයෝජනය ගනිමු.