Thursday, June 23, 2016

මාධ්‍ය සම්බන්ධ රේටිං දත්ත නිවැරදිද ?

මාධ්‍යවේදියෙක් ලෙස ගතකරන ජීවිතය ගැන හැමදාමත් ඇතිවෙන්නේ දැඩි කලකිරීමක්.
පසුගියදා මාධ්‍ය ප්‍රතිසංවිධානය කරමින් ‘‘ජනතාවට වගියන මාධ්‍යයක්“ වෙනුවෙන් නිර්දේශ 101ක් එළිදැක්වූ වෙලාවේ කිහිප දෙනෙක් ම ඉල්ලීමක් කළා මාධ්‍ය ජීවිතය සම්බන්ධ අත්දැකීම් ලියන්න කියලා. නමුත් වෙලාවක් තිබුණේ නැහැ.
හැමදාම මාධ්‍යයට සම්බන්ධ සටහනක් ලියන් බැරි වේවි.
නමුත් නැවත වතාවක් මේ වැඩේ පටන් ගන්න කියලා හිතුණා.
මේ සිද්ධිය වුණේ පසුගිය අඟහරුවාදා.
මම ගමන් කරමින් හිටියේ මෙරට මාධ්‍ය ඔස්තාර් කෙනෙකුගේ වාහනයේ.
වාහනේ ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියාත්මකයි.
තොරතෝංචියක් නැතිව තරුණියක් මොන මොනවාදෝ කියවනවා.
ඒ කියින එකම කතාවකටවත් මටවත් අර ඔස්තාර්ටවත් හිනා යන්නේ නෑ.
නමුත් මේ කියවන නිවේදිකාව තමන්ගේ කතාව කියලා මහා හයියෙන් හිනාවෙනවා.
ඒ විතරක් නෙවෙයි. තවත් පිරිසක් මහ හඬින් හිනා වෙන පටිගත කළ ශබ්දයකුත් එකතු කරනවා.
“මේ මොනවද මෙයා දොඩවන්නේ.....“ මට එකපාරටම කියවුණා.
මට හිතුණේ පැස්බරා දුවගෙන ගිහින් තමන්ගේ ඔළුව හංගගන්නවා වගේ කන් වැහෙන්නම ඔලුව වැලි ගොඩක හංගගන්න“
‘‘ඕව තමයි ඉතින් රේටින් වැඩිම ප්‍රෝග්‍රෑම්.“ අර ඔස්තාර් කියනවා.
‘‘අපරාදේ එයාර් ටයිම් එක“
ඒත් මාධ්‍ය ඔස්තාර් නිරුත්තරයි.
මගේ සිත අතීතයට දිව ගියා.
1991-1993 විතර කාලයේ මාත් එක්ක ජාතික රූපවාහිනියේ මුතුහර වැඩසටහන් වලට සම්බන්ධ වෙච්ච මගේ හොඳ මිත්‍රයෙක් අද මාධ්‍ය ආයතනයක ලොකුම පුටුවක ඉන්නවා. ඔහු මෙරට මාධ්‍ය කලාව වෙනස් කළා. මේ මනුස්සයා දවසක් මට හමුවුණු වෙලාවක කිව්වා පැරණි සින්දු සම්බන්ධයෙන් ඉතාමත්ම හරවත් වැදගත් වැඩසටහනක් උදේ කාලයේ දී තමන්ගේ ගුවන්විදුලි නාලිකාවේ විකාශය කරන්න සකස් කරමින් සිටින බව.
ඊට මාස කිහිපයකට පස්සේ මට මගේ මිත්‍රයා හමුවුණාම මම ඇහුවා
‘‘මචං අර ප්‍රෝග්‍රෑම් එක කෝ. කළේ නැද්ද ?“
‘‘ වැඩක් නෑ මචං කතා කරලා. මාකටිං එකෙන් කියනවා පරණ ශාස්ත්‍රීය සිංදු සම්බන්ධ වැඩසටහනක් විකුණන්න බැහැ කියලා. කවුරුවත් අහන්නේ නැහැ කියලා. ඒවට රේටිං නෑ කියලා ඒ නිසා කරන්න වුණේ නෑ කියනවා.“
මට මතක් වුණේ රූපවාහිනී වැඩසටහන් සම්බන්ධයෙන් රේටිං ගන්න හැටි.
ඒ ගැන මට අත්දැකීමක් තිබුණා.
ඉස්සර කොළඹට ඇවිත් මාධ්‍ය කෙරුවාව ඉගෙන ගන්නා කාලේ රස්සාවක් තිබුණේ නැහැ.
ඒ නිසා මමත් ඔය රේටිං ගන්න කොම්පැනියක සතියක් වැඩ කළා.
රේටිං ගන්න කොළ පුරවනවා. පුරවන කොළ ගානට තමයි ගෙවන්නේ
මේවා කරන අය වැඩිය ඉගෙන ගත්තු අය නෙවෙයි. නැත්නම් ඇත්තටම වෙනත් රස්සාවක් නැති නිසා මේ වැඩේට එන අය. (දැන් අය එහෙම නැතුව ඇති)
ඉතිං එයාලා ශාස්ත්‍රීය දේවල් ගැන දන්නේ නැහැ. රේටිං ගන්න ගිහින් අහන්නේ තමන් දන්න තමන් ප්‍රිය කරන වැඩසටහන් ගැන විතරයි.
තවත් කාරණයක් තියෙනවා. මේ රේටිං වැඩි හරියක් ගැනෙන්නේ උදේ වරුවේ ගෙදර ඉන්න අයගෙන්.
ඉතින්, රැකියා කරන අය, විද්වතුන්, විද්‍යාර්ථීන් මෙතැන දී මග හැරෙනවා.
අවසානයේ දී ලංකාවේ මාධ්‍ය ආයතන රේටිං වැඩිම වැඩසටහන් කියලා තෝරන්නේ මේ රේටිං ගන්න ආයතනවලින් දෙන කෘථිම දත්ත සමුදායක්.
එය සිදුකරන හා සමීක්ෂණයට භාජනය වන අයගේ රසවින්දනය තමයි අපිට බලෙන් පටවන්න හදන්නේ.
එතකොට පැසබරා ඔලුව හංගා ගත්තා වාගේ හැංගෙනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.
රටේ ජනතා විශ්වාසය දිනාගත් මාධ්‍ය සංස්කෘතියක් ඇතිකරන්න නම් මේ රේටිං ක්‍රමයත් වෙනස් කරන්න සිදුවෙනවා.

Sunday, December 21, 2014

ඡන්දය ගැන ඇහෙන, දකින හා හිතෙන දේ (ගමට නොදැනෙන බොහෝ දේ ඇති බව මෙයින් පසක් විය) - 2

එදා සතියේ දිනයකි. ගාල්ලේ සිට උඩුගම පසුකර හිනිදුම් පත්තුවට යන ගමනේ දී අතර මග අපි උදෑසන කුමක් හෝ ආහාරයකින් සප්පායම් වී තේ එකක් බීමට කඩයක් අසළ නතර කලේ බඩ පණුවන් ද කරදර කරන්නට පටන්ගෙන තිබුණු බැවිනි.
තවමත් අප හිනිදුම කල්වරි කන්ද ආසන්නයට පැමිණියා පමණි. කාරය නැවැත්වූ ස්ථානයේ පසෙකින් ඇත්තේ කුඩා තේ කඩයකි. එහි දුම් දමමින් ඇති රොටි දුටු විට කටට කෙළ උණන්නේ නැත්නම් පුදුමයකි.
පොල් රොටි අතට ගත්විටම දැණුනේ එහි යහමින් පොල් ඇති බවයි. කොච්චි සම්බලත් තවරාගෙන උණු උණුවේ ම පොල් රොටි ගිල දැමීම ආශ්වාදජනකය. වට පිට බලද්දී පසෙක ඇත්තේ පොල් ගොඩකි. ඒවායේ ඇතැම් ඒවා පැලවෙමින් තිබේ. පුදුමයකි අපේ ගම් පලාතේ (ගාල්ලේ හපුගල) පොල් මෙලෙස පැලවෙන්නේ නැත. මට සිහිපත් වූයේ ඉන් දින දෙකකට පමණ පෙර යන්තම් දොඩම් ගෙඩියකට වඩා ලොකු පොල් ගෙඩි කිහිපයක් එකක් රුපියල් 45/= ගණනේ නිවසට ගෙන ආ අයුරුයි.
‘‘ මුදලාලි, මෙහේ පොල් කීය ද ? “ මම ඇසුවෙමි.
ඔහු දුන් පිළිතුර මට එළොව පොල් පෙනෙන්නක් විය.
‘‘ මහත්තයෝ මෙහේ පොල් විකුණන්නේ නැහැ. “
කියන්නට වචන හෝ අසන්නට තවත් වදනක් නැත. එළැඹෙන ජනාධිපතිවරණයේ දී පොල් මිල ගමට දැනෙන්නේ නැති බව නම් පැහැදිලිය.
මේ එහි දෙවැනි කතාවයි.
ඉදිරියේ දී මුද්‍රණයෙන් පිටකිරීමට අපේක්ෂිත පොතකට ඡායාරූප ගැනීමට අනුරාධපුරයට ගියෙමු. බිරිඳ හා කොල්ලන් දෙදෙනා ද මේ ගමනට එක්වූයේ පාසල් කටයුතු ද අමතක කර දමමිනි. නවාතැන් ගත්තේ ඥාති නිවසකය. එ් ගෙදර අප්පච්චී හද්දා ගැමියෙකි. ඒ වනවිට හාල් කිලෝවක් රුපියල් 84/= ඉහළ ගොසිනි.
අනුරාධපුරය යනු වී වගාව සිදුකරන ප්‍රදේශයකි. මේ නිවසේ අප්පච්චී ද කුඹුරු වැඩට ගොස් පැමිණ රාත්‍රියේ මා සමග කතාවට වැටුණේය.
‘‘ අප්පච්චි මේ පැත්තේ හාල් කිලෝ එක කීය ද ?“ මම ඇසුවෙමි.
‘‘ හාල් ? “
ඔහුගෙන් ප්‍රශ්නාර්ථයකි.
‘‘ දන්නෙ නෑ“
පුදුමයකි. කුඹුරු වගාකරන මඩට බහින ගොවියා හාල් කිලෝවේ මිල දන්නේ නැත.
‘‘ අපි හාල් සල්ලිවලට ගන්නෙ නැහැ මහත්තයෝ “ ඔහු බුලත් කහට බැඳුණු දත් විලිස්සා සිය අව්‍යාජ සිනහවෙන් මට සංග්‍රහ කරද්දී ගමේ හැටි නොදැන අනවශ්‍ය ප්‍රශ්න ඇසූ මම බිම බලාගත්තෙමි.
මේ ගමේ තත්ත්වයයි.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්දය දෙන ගැමියන්ට ජීවන වියදම තීරණාත්මක සාධකයක් නොවනු ඇත.
මෙය අපි සැවොම තේරුම්ගත යුතු සත්‍යයි.
නමුත් හැම ගමක් ම එසේ නොවන බව ද සිහිතබා ගත යුතුය.
ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් වැඩි කොටසක් තවමත් ජීවත් වන්නේ ග්‍රාමීයව බව අමතක නොකළ යුතුය.

Friday, December 19, 2014

ඡන්දය ගැන මට හිතෙන, දකින, ඇහෙන සියළු දේ

දැන් කාටත් මාර චූන්ය. ඒ තමන්ගේ පාලකයා තෝරාගැනීමේ අවස්ථාව ලැබී ඇති බැවිනි. රටේ නායකයා තෝරාගන්නවා යනු ලෙහෙසි කටයුතුක් යැයි මා නම් සිතන්නේ නැත. දැන් ඒ ගැන බොහෝ දෙනා කතා කරන්නේ වෙනත් කිසිදු වැඩක් තමන්ට ඇතැයි නොසිතමිනි. රටේ පාලකයා පත්කළ යුත්තේ කතා කරමින් නොව ඡන්දය පාවිච්චි කරමිනි. මේ බව අපේ බොහෝ දෙනකු එක්කෝ දන්නේ නැත. නැතිනම් ඒ ගැන හිතන්නේ නැත.
කෙසේ වෙතත් දැන් තිබෙන්නේ අපූරු සංදර්ශනයකි. හැමෝම හිතන්නේ ඔළුගෙඩි ටික ඒ පැත්තට මේ පැත්තට මාරු කරලා ඡන්දය දිනන්නය. ඔවුන් එසේ සිතීම ද නිවැරදිය. මට හිතෙන හැටියටනම් මෙරට මජහනයා තමන්ගේ ඡන්දයේ නියම වටිනාකම නොදන්නා බැවින් ඔවුන් එසේ කරයි.
ඒ පැත්තට මේ පැත්තට පනින්නන්ට කිසිදු ස්ථිර ප්‍රතිපත්තියක් නැත. එයට හොඳම උදාහරණය පසුගිය දා පැන්න විපක්ෂයේ ප්‍රබලයෙකි. ඔහු පනින්නට දින කිහිපයකට පෙරත් ආණ්ඩුව පතුරු ගැහුවේය. දැන් අන් සියළු දෙනාට වඩා ආණ්ඩුවේ ගුණ ගයන්නේ ඔහුය.
මේ අපේ රටේ තකතීරු දේශපාලනයයි. මේ විහිළු බලා සිට අපේ අය ද තකතීරු විදියට ඡන්දය පාවිච්චි කරන බව පසිගිය සෑම මැතිවරණය ක දී ම අපට පෙණුනේය. අපි ඡන්දය දිය යුත්තේ වැඩිපුර පිරිසක් පැන එකතු වූ පක්ෂය ට ද ? පැනීමේ රැල්ලට ද ?
නැත අපි තෝරන්නේ ඒ අවස්ථාවාදීන්ගේ බඩගෝස්තරය වර්ධනය කළ හැකි නායකයා නොවේය. අපේ නායකයාය. අපේ නායකයා තෝරන්නට ඒ කිසිවක් අපට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ අපේ සිහි බුද්ධියෙන් හිතා බලා ඡන්දය දිනයේ පැන්සල් කොටය භාවිතා කිරීම පමණි.
අඩුම ගණනේ රටේ නායකත්වය වෙනුවෙන් තරඟයක් දිය හැකියැයි සිතිය හැකි ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන, අරමුණු අපේක්ෂාවන් හා අතීතයේ කළ කී දෑ ගැන සොයා බලා සිතා බලා තක්සේරු කර ඡන්දය දෙන්නට අපි පුරුදු වෙමු
 නමුත් වේදනාව වන්නේ එය එසේ සිදු නොවීමයි. අද ලංකාවේ බොහෝ දෙනාගේ දේශපාලනය පැවත එන්නේ පවුලෙනි. ඒ බණ්ඩාරනායක පවුල හෝ රාජපක්ෂ පවුල හෝ සේනානායක පවුල ගැන හෝ කීවක් නොවේ.
තාත්තාගේ අම්මාගේ දේශපාලන දර්ශනය පුතාට හෝ දුවට ලැබීමයි. ඔවුන් දන්නේ තාත්තාගෙන් හා අම්මාගෙන් ඇසුණු දේශපාලන දර්ශනයක් පමණි. ඉන් එහාට සිතුවානම් සිතුවේ අම්මලා තාත්තලා නොකළ දේශපාලනයක් කළ ජේවීපී කාරයෝය. 
මේ පවුල් දේශපාලන ක්‍රමය නිසා ම ලංකාවේ යූඑන්පී කාරයෝ හා එස්එල්එෆ්පී කාරයෝ කියා හංවඩු ගැසුණු අය සිටිති. ඉන්නේ ඔවුන් පමණක් නම් රටේ කෝටි ගණන් මුදල් වියදම් කර ඡන්දයක් තිබිය යුතු නැත. අවශ්‍ය වන්නේ ජන සංඛ්‍යාලේඛණ දත්ත පමණි.
නමුත් එසේ නොවේ. ඉදහිට එක් පැත්කට හෝ අනෙක් පැත්තකට ඡන්දය දෙන්නවුන් සිටිති. නැතිනම් නොදීම ඉන්නවුන් ද කුරුටු ගාන්නවුන් ද සිටිති.
මා නම් සිතන්නේ සැවොම ඡන්දය භාවිතා කළ යුතුය. තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය දිය යුතුය. මේ කැමැත්ත තීරණය විය යුත්තේ වැඩි දෙනාගේ කැමැත්ත ලැබීම අනුව නොව ප්‍රතිපත්ති හා ඔවුන් ගැන විශ්වාසය තැබීමේ හැකියාව මතය.
රැල්ලට, පරණ පුරුද්දට, ඡන්දය නොදී අනාගතය, ප්‍රතිපත්ති, හැකියාව ගැන සොයා බලමු.
ඡන්දයක නියම ප්‍රයෝජනය ගනිමු.

Friday, November 21, 2014

මාධ්‍ය කරුවාගේ කෙරුවාව - 1


මා මෙහි ලියූ එක් සටහනක් කියවූ අපේ මහින්ද පී. ලියනගේ මාධ්‍ය සහෘදයා බොහෝ වේදනාවට පත්ව මගෙන් එක් ඉල්ලීමක් කළේය. ඒ ‘‘මල්ලී අපේ අයගෙන් සිදුවන වැරදි වගේ ම අපේ අය විදින දුක් ගැහැට ගැනත් ලියන්න“ යැයි ඒ ඉල්ලීමයි. එ් ඉල්ලීම මහින්ද අයියා විසින් ඉදිරිපත් වීමටත් පෙර මා එය ලිවීමට සිතා සිටියේය. එසේ වුව ද වේලාවක් තිබුණේ නැත. දැන් එය ලිවිය යුතුය. මහින්ද අයියා මා දිරිමත් කළේය. එයට තුති.
මාධ්‍යකරුවා යනු ඉතා වැදගත් පිළිගැනීමක් ඇති පුද්ගලයෙකි. නමුත් ඔහුට ඒ වැදගත් කම ලැබුණ ද වෘත්තීය පිළිගැනීමක් නැති බව මා මුළින් ලීවේය. එහිදී වෘත්තීය පිළිගැනීමක් නැතිවීමට අපේ අයද වගකිව යුතු බැව් කී විට අපේ බොහෝ දෙනකුට බොහෝ රිදී තිබිණි. දැන් ඒ රිදීම අඩුවී ඇත. ඒ නිසා මෙය ලියා තැබිය යුතුය.
අපි මුලින්ම අපේ ප්‍රාදේශීය පොරවල් ගැන කතා කළ යුතුය. ප්‍රාදේශීය මාධ්‍යකරුවා යනු ගමේ ගොඩේ නගරයේ හෙන පොරකි. ඇමතිවරයාට, මන්ත්‍රීවරයාට, දොස්තරට, නීතීඥයාට, හාමුදුරුවන්ට, පොලිස් කාරයා ඇතුළු මෙකී නොකී සියළු ලොක්කන්ටත් ඉස්කෝලෙ මහත්තායාගේ සිට ගමේ පොල් කඩන මිනිහාටත් බෝක්කු මත රස්තියාදු ගහන කොල්ලාටත්, හොරටත් කුඩ්ඩාටත් ගමේ සිටින මාධ්‍යකරුවා පොරකි. ඒ නිසා ලොකු පිළිගැනීමක් ද තිබේ. ඉහත අයගෙන් හොඳ සහයෝගයක් ද ආදරයක්, කරුණාවක් හා ගෞරවක් ද ලැබේ

එසේ වුවත් අපේ අය මුහුණ දී තිබෙන ප්‍රධානතම ගැටළුවනම් මේ අයගෙන් සහයෝගය ලබා ගැනීම නොවේ. තමන් නියෝජනය කරන ආයතනයෙන් සහයෝගය ලබා ගැනීමයි. ආයතනයේ සිටින අය ගමේ සිටින මාධ්‍යකරුවන් හඳුන්වන්නේ ‘‘කොරා“ යනුවෙනි. කොරා යනු කොර ගසන නිසා කියන නමක් නොව කොරස්පොන්ඩන්ට් යන වචනය කෙටි කිරීමකි. මේ කොරා කිසිදිනක කොර නොගසන්නෙකු (වෘත්තීය වශයෙන්) බව පත්තර කන්තෝරුවේ හෝ රේඩියෝවේ හෝ රූපවාහිනී නාලිකාවේ හෝ සිටින ලොක්කන් මෙන්ම සොක්කන් ද අවබෝධ කරගන්නේ නැත. ඔවුන් සිතන්නේ ගමේ ඉන්නා කොරාලා ඔවුන්ගේ බත් බැලයන් කියාය.
(මා දිගටම ප්‍රාදේශීය මාධයකරුවන්ට කොරා යන්න භාවිතා කරමි. එය පහසුව සඳහාය)
නමුත් ඇත්ත එය නොවේ. පත්තරයක් ගෙන බලන්න. නැතිනම් රේඩියෝවේ හෝ රූපවාහිනියේ පුවත් අසන්න. මේ පුවත්වලින් වැඩි ප්‍රමාණයක් අදාල ආයතනයට එවා ඇත්තේ කොරාලා විසිනි. එසේ නම් කොළඹ ආයතනයේ ඒ.සී. කාමරයේ සිටිමින් සියළු පහසුකම්, ( වාහන, කැමරා, කඩදාසි, කෑම බීම, වරප්‍රසාද, වැටුප්, අතිකාල, වෙනත් දීමනා, නම්බු නාම) ලබාගන්නා තමන් පොරවල්වලට වඩා ගමේ කොරාලා ආයතනයටත් රටටත් දැනෙන්නට වැඩක් කරති.
එසේ වුව ද හැමදාමත් කොරාලාට ලැබෙන්නේ කුඩම්මාගේ සැළකිල්ලයි. කොරෙකු වසර 50ක් සේවය කළ ද කිසිදු උසස් වීමක් ලැබෙන්නේ නැත. ලියන්න කියන විට ලියන්නත් එපා කියන විට නොලියා සිටින්නත් කොරාට සිදුවෙයි. ස්ථිර දීමනාවක් නැත. ලැබෙන්නේ කෑලි ගාණට සොච්චම් මුදලක් පමණි. එපමණක් නොව රැකියාවේ කිසිදු ස්ථිරත්වයක් නැත.
වසර ගණනක් වෙහෙස මහන්සි වී එක් ප්‍රදේශයක සියළු වාර්තා ලියුව ද අළුතෙන් කොරෙක් පොර න්‍යාෙයන් ආවොත් පැරණි කොරා පැත්තකට තල්ලු කර දමා කොළඹ පොරවල් පොර කරගන්නේ අර අලුත් කොරාය. එවිට පැරණි කොරට යන එන මං නැත. ඒ කොරාගේ දු දරුවන් ද බඩ ගින්නේය. මේ නිසා කිසිදු ස්ථිර රැකියාවක් නැති කොරාලාට මේ මාධ්‍ය කලාවෙන් යැපෙන්නට බැරිය.
එපමණක් නොව පුවතක් ආයතනයට යවන්නට බොහෝ මුදල් වැය කරන්න කොරාලාට සිදුවේ. එක්කෝ ෆැක්ස් කළ යුතුය. නැත්නම් ඊ මේල් කළ යුතුය. ඡායාරූප ඊ මේල් මගින් හෝ මුද්‍රණය කර හෝ යැවිය යුතුය. මා දන්නා තරමින් ලංකාවේ එකම කොරෙකුට වත් අවශ්‍ය කිසිදු උපකරණයක් ආයතන වලින් සපයන්නේ නැත. ඉඳහිට වසරක පමණ කාලයකට කොළ මිටියක් ලැබෙයි. ඒ කොළ මිටිය ද කොළ සියයකට දෙසීයකට පමණ සීමා වන අතර ඒ එකදු කොළයක් හෝ ෆැක්ස් යන්ත්‍රයකටවත් ඇතුළු කරන්නට නොහැකිය. අඩුම ගණනේ කැමරාවක්, පටිගත කරන යන්ත්‍රයක්, පරිගණකයක් , යතුරුපැදියක් වැනි අවශ්‍ය උපකරණයක් ගැනීමට ආයතනයෙන් ණයක්වත් දෙන්නේ නැත. තම ශක්ති පමණින් ණයක් ගැනීමට බැංකුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වැටුප් ලේඛණයක් හෝ ලැබෙන්නේ නැත.
මේ කොතරම් දුක් ගැහැට විඳ යවන වාර්තාවක් පත්තරේ පළ වුණේ නැතොත් නැතිනම් විද්‍යුත් නාලිකාවේ විකාශය නොවුණොත් ගෙවීම් කරන්නේ ද නැත. ගෙව්වොත් ගෙවන්නේ ද සොච්චම් මුදලකි. ඇතැම් විටෙක දවසම කැපකර ලියන වාර්තාවකට ලැබෙන්නේ රුපියල් 150.00 ක් 200.00 ක් වැනි නොවටිනා මුදලකි. කුලී වැඩක් කලානම් දවසටකට රුපියල් 800ක් 1000ක් සොයා ගැනීමට හැකියාව ඇත.
පුවත්පත් වල හෝ රූපවාහිනී නාලිකාවක පුවතක් දමා ගැනීමට කොරාලා හමුවන පුද්ගලයෝ ද මේ ගැන සිතන්නේ නැත. ඇතැම් විට එක් ඡායාරූපයක් ගැනීමට කිලෝ මීටර 10-15 යා යුතුය. ඒ සඳහා පැය ගණනක් නැතිනම් දවසක්ම රස්තියාදු වීමට සිදුවේ. ලැබෙන්නේ මා මුලින් කියූ මුදලයි. යුතුරු පැදියක ගියානම් පෙට්‍රල් වියදමත් ඊට වැඩිය. මේ කරුණ ආයතන දැන සිටිය ද කිසිවක් කරන්නේ නැත. කළොත් ඔවුන්ට ලාභ පෙන්විය නොහැකි බැවින් එසේ කරනවා විය යුතුයැයි මට සිතේ.
පුවත් පලවන්නේ ද කොළඹ සීතල කාමරයේ සිටින පොරවල් වලට වුවමණා පරිදිය. ප්‍රවෘත්තිමය වටිනාකම කොතරම් ඇතතත් ඇතැම් විටෙක පුවත එවූ කොරා ලොක්කාට අල්ලන්නේ නැත්නම් සිත් දිනාගෙන නැත්නම් දිරවන්නේ නැත්නම් ඒ පුවත වැටෙන්නේ කුණු බක්කියටය. එසේ කළ නොහැකිනම් වෙනත් අයකුගේ නමින් පළවන අවස්ථා ද තිබේ.
තමන් යවන පුවතක් ප්‍රකාශයට පත්වනු දැක එය සැපයූ තැනැත්තා කවරකු වුව ද බෙහෙවින් සතුටට පත්වෙයි. එය මානසික සතුටකි. එය තවත් පුවතක් සැපයීම සඳහා පෙළඹවීමක් ද වෙයි. අප අතර සිටින බොහෝ කොරාලා කරන්නේ තමන්ගේ පුවත් පත්තරයේ හෝ විද්‍යුත් මාධ්‍යයේ ප්‍රකාශයට පත්වීමෙන් ලැබෙන මුදලටත් වඩා එමගින් ලැබෙන සතුට, සැනසුම හා චිත්ත ධෛර්යය බෙහෙවින් අගය කොට සළකන බව මගේ විශ්වාසය වී තිබේ. ඇතැම් අය මේ ගැන උනන්දු නොවී මුදල් මත ම සියල්ල තීරණය කරන බව ද පැවසේ. එහි වරදක් ද නැත. ජීවත් වීමටනම් මුදල් අවශ්‍යය. තම වෙහෙස දැනුම හා හැකියාව පිනට දීමට කිසිවෙකුට නොහැකිය. පුවතක් පළ නොවීමෙන් සාක්කුවට හානි වනවාට අමතරව වෙනත් විශාල හානියක් සිදුවේ. ඒ පුවත දුන් තැනැත්තාගේ විශ්වාසය පළුදු වීමයි. ඔහු හෝ ඇය එවිට තමන් වාර්තාව දුන් වාර්තාකරු ගැන විශ්වාසය තබන්නේ නැත. තවදුරටත් තොරතුරු ලබා දෙන්නේ ද නැත.
මේ සියලු ගැහැට මධ්‍යයේ අප විසින් කරන කාර්යය ඉතා අනාරක්ෂිතය. අපේ එක් වැඩිහිටි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක් සිටියේය. ඔහු ආයතනයකට තම දිවි පරදුවට තබමින් ක්‍රියා කරමින් සිටිය දී හදිසියේම රෝගාතුර වූවේය. මාස කිහිපයක් ඔහු ලියූ ලිපි වෙනුවෙන් දීමනා ලැබිණි. ඒ රෝගාතුර වූවාට පසු පුවත් පතේ පළවූ ලිපි වෙනුවෙන් පමණි. ටික දිනකින් රෝගයෙන් සුවය ලැබුව ද ඔහු වෙනදා තරම් කාර්ය ශූර ගමනට බිමනට සුදුසු තත්ත්වයක සිටියේ නැත. සිදු වූයේ ඔහුගේ ආයතනයෙන් කිසිදු කාර්යයක් ඔහුට භාර නොදීමයි. මේ නිසා ඒ මාධ්‍යකරුවාගේ ආර්ථිකය මුළුමනින් ම බිඳවැටිණි. මාස තුන හතරක් ගිය තැන ඔහු වෙනුවට ඔහුගේ බල ප්‍රදේශයට වෙනත් නව කොරෙක් බඳවාගෙන තිබිණි. වසර ගණනක් ආයතනයට කැපවී සේවය කළ ජ්‍යේෂ්ඨ කොරා අද දුකසේ කල් ගෙවයි. ඔහුගේ සහෝදර කොරාලා මෙය දැන සිටිය ද ඔහුට සරණයක් වීමට තරම් ආර්ථික හයියක් මේ මාධ්‍ය ක්‍රමය තුළ ඒ කොරාලාට ද නැත.
ප්‍රාදේශීය වාර්තා කරුවන් හෙවත් කොරාලා කිසිම ආයතනයක ස්ථිර සේවකයන් නොවන බැවින් මේ අවාසනාවන්ත තත්ත්වය උදාවී තිබේ.
මෙයට හොඳ උදාහරණයක් තිබේ. පසුගිය දා බදුල්ලේ දේශපාලන රැළියක දී තුවාල ලැබූ ප්‍රාදේශීය වාර්තාකරුට බරපතල ශල්‍ය කර්මයක් ද කළේය. ඔහුගේ ආයතන මෙන්ම අනෙක් මාධ්‍ය ආයතනත් ඔහු වෙනුවෙන් විශාල හඬක් නැගුවේය. අපි ද උද්ඝෝෂණ කළෙමු. දැන් ඒ සියල්ල අතීතයට එක්වී ඇත. ඔහු තුවාල සහිතව නිවසට වී සිටියි. දැන් කිසිවෙකුට ඔහු ගැන මතක නැත. මේ දිනවල ඔහුට ලැබෙන ආදායමක් ද නැත.
මුළු රට පුරාම විසිරී සිටින සියළුම කොරාලාට මුහුණ දීමට සිදුව ඇත්තේ අතිශය කණගාටුදායක අනාරක්ෂිත තත්ත්වයකට ය. මේ ගැන මාධ්‍ය ආයතන, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙන්ම පුවත්පත් මණ්ඩලයත් මාධ්‍ය සංවිධානත් අවධානය යොමු කළ යුතුය. දැනටමත් යොමු කැර ඇතත් සිදුවූ සෙතක් නම් පෙනෙන්නට නැත.

Wednesday, November 19, 2014

පිරිමි දරුවා ගැහැනු දරුවෙක් වෙයි. මහ මෝදර රෝහලේ ආශ්චර්යයක්


මිනිසුන් නිරන්තරව ම අසාධාරණයට ලක්වෙති. එසේ වුව ද තමන්ට ශක්තියක් නැති නිසාත් ඇතැම් විට විවිධ බලපෑම් නිසාත් නැතිනම් ඕනෑකමක් නැති නිසාත් ඒ අසාධාරණ විඳ දරාගෙන ඔවුන්ට ඉන්නට සිදුවන අවස්ථා බොහෝ විට අසන්නට දකින්නට ලැබෙයි. මේ තවත් එවැනි අවස්ථාවකි.
අප මාධ්‍යකරුවන් ලෙස අසාධාරණයට ලක්වන්නවුන් වෙනුවෙන් පෙනී සිටීමට කොතෙක් උත්සාහ ගත්ත ද අසාධාරණයට ලක්වූ තැනැත්තාට හෝ තැනැත්තියට සාධාරණය ඉටුකැර ගැනීමට අවශ්‍ය නැත්නම් අපට ද කරන්නට දෙයක් නැත.
ඇයට අපි සුනීතා යැයි කියමු (අන්වර්ථ නාමයකි) සුනීතා ගැබ් ගත්තාය. විශේෂඥ වෛද්‍යවරු කීවේ ඇයට පුතකු ලැබීමට නියමිත බවයි. මහත් සතුටින් ඉපිළ ගිය සුනීතා හා ඇගේ සැමියා සමන් දෙදෙනාම කුළුදුල් දරුවා පුත් කුමරකු වීම ගැන මහත් උද්දාමයකින් සිටියා. දරුවා ලැබීමට ඇය මහමෝදර රෝහලට ආවේ මීට දින කිහිපයකට පෙරදීය. දරුවා ලැබිණි. හෙදියක් ඇය අසළට පැමිණ මෙන්න ඔයාට පුංචි පුතෙක් කියා දරුවා පෙන්වූවාය. පුතුගේ මුහුණ දුටු සුනීතාට තමන් විඳි වේදනා සියල්ල අමතක විය.
ඇය වාට්ටුවට ගෙන ආවාය. පුදුමයකි. ඇයගේ ඇඳට ගෙනවිත් දුන්නේ පුංචි ලදැරියකි.
‘‘ කෝ මගේ පුතා. මට ලැබුණේ දුවෙක් නෙවෙයි. “ කියමින් ඇය කෑ ගැසුවාය. වාට්ටුවේ හෙද හෙදියෝ කලබල වූහ.
හෙදියන්ගෙන් චෝදනා එල්ල වූයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් හා සාත්තු සේවිකාවන් වෙතය. ඔවුන්ගේ වරදින් දරුවා මාරු වී ඇතැයි චෝදනා කෙරිනි. වාට්ටුවේ සේවිකාවෝ මේ ගැන වාද විවාද කරද්දී මට ඒ ගැන දැනගන්නට ලැබී එහි ගියෙමි.
ඒ යනවිට හෙදියෝ තත්ත්වය පාලනය කරගෙන තිබිණි. මව (සුනීතා) හා පියා හෙදියන්ගේ කාමරයේය. මා එහි ගොස් විනාඩි ගණනකට පසු එළියට ආ පියාගෙන් ඒ ගැන විමසුවෙමි.
‘‘ පොඩ්ඩක් ඉන්න මම කතාව කියන්නම් “ ඔහුගේ පිළිතුර විය.
විනාඩි කිහිපයකින් ඔහු යළි හෙදියන්ගේ කාමරයට ගියේය. යළි පැමිණි ඔහු මට කීවේ.
‘‘ නෑ මේක මාධ්‍යයට ප්‍රශ්නයක් නෙවෙයිනේ. අපිට ලැබුණේ දුවෙක් කියලා නර්ස්ලා කියනවා. ඒ වෙලාවේ වැරදීමක් වෙලා පුතෙක් පෙන්වා තියෙනවා. දැන් ප්‍රශ්නය විසඳිලා. ඒ නිසා මාධ්‍යයට මොනවත් කියන්න බැහැ“.
ඔහු මා සමග එවදන් පවසන විට හෙදියක් දුරකථන ඇමතුමක් ගනී. ඇගේ ඇමතුම ආරක්ෂක ප්‍රධානියාටය.
‘‘ අවසර නැතිව මීඩියා වලින් ඇවිත්, ඉක්මනට එන්න“
හෙදිය මා මාධ්‍යයෙන් යැයි දැනගත්තේ කෙසේ දැයි මා දන්නේ නැත.
මොහොතකින් මේ දරුවාගේ උපත් විස්තර වෙනත් මාර්ගයකින් පිරික්සා බැලුවෙමි.
ඉතාමත් පැහැදිලිය. උපත් විස්තරයේ ඇත්තේ පිරිමි දරුවකු උපත ලැබූ බවයි. නමුත් පසුව ඒ සියල්ල කපා දමා ගැහැනු දරුවකු බව සටහන් කර තිබේ.
මහමෝදර රෝහලේ දී උපදින පිරිමි දරුවන් ගැහැනු දරුවන් වෙන්නේත් ගැහැනු දරුවන් පිරිමි දරුවන් වෙන්නේත් ඒ ආකාරයෙනි.
සිද්ධියට තවමත් සතියක් ගතවූයේ නැත.
ඒ තාත්තාත් අම්මාත තමන් අසාධාරණයට ලක්වුව ද ඊට එරෙහිව නැගී නොසිටින්නේ නොහැකියාව නිසාද ? නැතිනම් අධිකාරීත්වයට ඇති බිය නිසාද ? නිවට කම නිසාද ? කිසිවකුගේ බලකිරීම් හේතුවෙන් ද ? වුවමනාවක් නැති නිසාද ? තමන්ට වූ අසාධාරණයේ තරම නොදන්නා නිසාද ? යන්න මා දන්නේ නැත.
ගැටළුවට මුහුණදුන් අය ඉදිරිපත් නොවන්නේ නම් අපට කරන්නට දෙයක් නැත. අවසානයේ මහමෝදර රෝහලේ ආශ්චර්යය මාධ්‍යයෙන් සැඟවී ගියේය.
අපට තේරුම් ගිය සත්‍යයනම් දරුවන් දෙදෙනකු රෝහල් සේවකයන්ගේ වරදින් මාරුවූ බවයි.

Monday, November 17, 2014

මාධ්‍ය වෘත්තියේ ගෞරවය සුරකිමු. කැලෑ පත්තර කලාවෙන් අත් මිදෙමු.

වර්තමානයේ මාධ්‍ය භාවිතයත් මාධ්‍යයේ යෙදෙන අය ගැනත් ඇත්තේ විවිධ මතයන්. බොහෝ අවස්ථාවල දී මෙය විවේචනාත්මකයි. සැබෑ විවේචනයක් සෑම විටම අවශ්‍ය බවයි මගේ පිළිගැනීම. ඒ නිසා මා මගේ බ්ලොග් සටහන මාස ගණනාවකට පසු යළි ආරම්භ කරන්නේ මාධ්‍ය ගැන විවේචනයකින්. ඇතැම් විට මෙය මාගේ මාධ්‍ය සඟයන්ට නීරස සටහනක් වේවි. නමුත් ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් හා ප්‍රේක්ෂකයන් මේ තත්ත්වය වටහාගත යුතුයි. එපමණක් නොවෙයි මාධ්‍ය කටයුත්තේ යෙදෙන අප ද මේ පිළිබඳ ස්වයං විවේචනයක යෙදිය යුතුයි. 
අපේ බොහෝ දෙනෙක් අභිමානයෙන් පවසන එක් දෙයක් තිබෙනවා. ඒ තමයි අපි සමාජ මෙහෙවරක් ඉටුකරණවායැයි කියා. නමුත් අද වර්තමානය වනවිට තමන් විසින් කළ යුතු මාධ්‍ය මෙහෙවර නැතිනම් සමාජ මෙහෙවර අමතක කරලා කෑලි ගාණට මුදල් හොයන්නන් බවට පත්වෙලා. එය ඛේදජනකයි. මේ කියවන මගේ පාඨකයන් අති බහුතරය සැබැවින්ම එය නොදන්නවා විය යුතුයි. දවස අවසානයේ බලන්නේ තමන් නිවුස් කියක් යැව්වාද කියා. නැතිනම් හෙට පත්තරේට නිවුස් කීයක් පලවෙයිද කියා. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ නිවුස් එක පත්තර කීයක පලවනවා ද කියා බලන අයත් ඉන්නවා.
දැන් මාධ්‍යවේදියාගේ ප්‍රධාන උපකරණය පෑන වෙනුවට ටිපෙක්ස් බෝතලය පත්වෙමින් තිබෙන්නේ මේ නිසා. ඒත් ඒකත් දැන් වෙනස් වෙමින් තියෙනවා. ඊ මෙල් නිසා. ඊමේල් වලත් අනන්‍යතාව නැති වෙලා. බොහෝ දෙනකුට තිබෙන්නේ පොදු ඊමේල්. එක්කෙනෙකුගේ ඊමේල් රහස් පදය තවත් කෙනෙකු සතුව තිබෙනවා. අපි හිතමු අප්පුහාමි කියා මාධ්‍යවේදියෙක් ඉන්නවා කියා. අප්පුහාමිගේ ඊමේල් ලිපිනය වගේම රහස් පදයත් කරෝලිස් කියන මාධ්‍යවේදියා සතුයි. කරෝලිස්ගේ ඊමේල් ලිපිනයත් රහස් පදයත් අප්පුහාමි ගාව තියෙනවා. අප්පුහාමිට නිවුස් එකක් ලැබුණම එයා කරෝලිස්ගේ ලිපිනයෙන් කරෝලිස්ගේ පුවත්පත් වලටත් යවනවාත. කරෝලිස්ට තොරතුරක් ලැබුණම එයා අප්පුහාමිගේ ඊමේල් ලිපිනයෙන් අප්පුහාමිගේ ආයතන වලටත් තොරතුර යවනවා. අද වර්තමානය වනවිට ඇතැම් මාධ්‍යවේදීන් තමන්ගේ නමින් පත්තරේ පලවන පුවත ගැන දන්නේවත් නැති තත්ත්වයට පත්වෙලා. මොකද ඒක ලියලා තියෙන්නේ වෙනත් කෙනෙක් නිසා .ඔන්න ඕක තමයි කැලෑ පත්තර කලාව. මේ නිසා මාධ්‍යෙය් ගෞරවය කෙලෙසෙනවා. එහි වෘත්තිය තත්ත්වය නැතිවෙනවා.
අපි මාධ්‍ය වෘත්තිකයන් විය යුතුයි. නැතිනම් එය විශේෂඥ සේවාවක් විය යුතුය. එසේ වුවත් ශ්‍රී ලංකාවේ මාධ්‍යයට එහෙමත් නැත්නම් මාධ්‍යකාර්යයේ නිරත පුද්ගලයන්ට (මාධ්‍යවේදීන්ට) තමන්ගේ වෘත්තිය විශේෂඥ එහෙමත් නැත්නම් (ප්‍රොෆෙෂනල්) පිළිගැනීමක් තිබෙනවාද ? එය සැබැවින්ම විමසා බැලිය යුතු සාකච්ඡාවට භාජනය කළ යුතු දෙයක්. 
අපි තමයි රටක් පාලනය කරන හතරවැනි බලය කියා අපි පුරසාරම් දොඩනවා. ඒ මතය ඔළුව උඩ තියාගෙන ඉන්නවා. විධායකය, ව්‍යවස්ථාදායක හා අධිකරණයට පසුව ඉන්නේ මාධ්‍ය කියා අපි කටමැත දෙඩවූවත් අපේ රටේ පැහැදිලි මාධ්‍ය නිදහසක් නැහැ. ඒ ගැන තවත් අටුවා ටීකා අවශ්‍ය නැහැනේ. මාධ්‍ය නිදහස නැති තොරතුරු දැන ගැනීමේ අයිතිය ස්ථාපිත නොකළ රටක මාධ්‍යයට රට පාලනය කරන සිව්වැනි බලවේගය විය හැකිදැයි ගැටළුවක්. 
තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි අපේ වෘත්තීයට වෘත්තීය පිළිගැනීමක් නොමැති වීම. විශේෂයෙන් ම එ් පිළිගැනීම ලබා ගැනීමේ පළමු කාරණය තමයි මාධ්‍ය ආයතනයකට යම් අයකු බඳවා ගැනීමේ දී සුදුසුකම් පරීක්ෂා කිරීම. නමුත් අපේ රටේ කිසිම ආයතනයක ප්‍රාදේශීය මාධ්‍යවේදීන් බඳවා ගැනීමේ දී ඔවුන්ගේ කිසිදු සුදුසුකමක් පරීක්ෂා නොකිරීම ඛේදජනකයි. ප්‍රාදේශීය පමණක් නොවෙයි ඇතැම් අවස්ථාවල දී ආයතනික මාධ්‍යවේදීන් බදවාගැනීමේ දී ද මේ සුදුසුකම් පරීක්ෂා කරන්නේ නැහැ. හිතවත්කම් වලට බඳවාගැනීම් සිදුවනවා. මේ නිසා ශ්‍රී ලංකාවේ සිටින මාධ්‍යවේදීන් අති බහුතරයක් මාධ්‍ය අධ්‍යාපනයක් නොලැබූවන්, එසේත් නැත්නම් ජාත්‍යන්තරයට සමගාමීව අදාල වෘත්තියේ නියැලීමට අවශ්‍ය පුහුණුවක්, දැනුමක්, අධ්‍යාපනයක් නොලැබූවන්. ඇතැම් අයට මූළික අධ්‍යාපන සුදුසුකම් ද නැහැ. (මා මේ සටහන සහෝදර මාධ්‍යවේදින්ට නීරස වේයැයි කීවේ මේ නිසා. ඒ වගේම ඔවුන් මට දෝෂාරෝපණය කරන බවත් මා හොඳින්ම දන්නවා. වෘත්තීය ගෞරවය රැක ගැනීමටනම් අප මෙය සාධාරණව විවේචනය කළ යුතුයි.) මේ නිසා අපේ වෘත්තියට වෘත්තීමය තත්ත්වයක් නැතිනම් විශේෂඥ තත්ත්වයක් ඇති කිරීමට නම් සුදුස්සන් ඕනෑකර තිබෙනවා. ඔවුන්ට විශාල ඉඩක් ඉතිරිව තිබෙනවා. 
නමුත් එහි අරක්ගත් ඇතැම් අය ඔවුන්ට කිසිසේත්ම ඉඩක් ලබා දෙන්නේ නැහැ. තමන්ට යන්තම් වාක්‍ය දෙක තුනක් ගලපා ගැනීමට හැකිවූ පමණින් තොග ගණන් පුවත් යවා ආයතනයේ සංස්කරණ ශිල්පීන් අතින් සංස්කරණය වී හැඩ වැඩ දමා පුවත්පත්වල පලවූවාට පසු පොර න්‍යායයෙන් ඔළුව උදුම්මාගන්නා ඇතැම් අය මාධ්‍ය කඩතුරාවට මුවා වී සමාජය හමුවේ පෙනී ඉන්නේ මාධ්‍ය ඔස්තාර්ලා ලෙසින්.
මේ තත්ත්වයට වර්තමානයේ හතු පිපෙන්නාක් සේ එළියට ආපු පත්තර කන්තෝරුත් පුරුදුවෙලා. ලියා එවන ඕනෑම දෙයක් පල කිරීමේ කැලෑ පත්තර කලාවකට යමින් මාධ්‍ය වෘත්තිය බංකොලොත් කරන්නේ ඒ ආයතන විසින්. මේ ආයතන නිසාම තමයි අපේ මාධ්‍ය වෘත්තිය විශේෂඥ බවක් නොලැබෙන්නේ. 
මාධ්‍ය වෘත්තිය විශේෂඥ වෘත්තියක් ලෙස ජාතික වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ලැබීමට මධ්‍යවේදියාගේ සුදුසුකම් වගේ ම වෘත්තීය ප්‍රමිතියක් තිබිය යුතුයි. නමුත් අපේ ඇතැම් මාධ්‍ය ආයන මේ ප්‍රමිතිය අමු අමුවේ ම උල්ලංඝනය කරන්නේ මාධ්‍ය ආචාර ධර්ම පවා බල්ලාට ඇද දමමින්. 
පොදු වැසිකිලියක දී තමන්ට ඇසෙන දේ පවා පත්තරේට වාර්තා කරන මාධ්‍ය ගැන දැනුමක් පුහුණුවක් නැති මාධ්‍යවේදීන් මාධ්‍ය ඔස්තාර්ලා බවට පත්කරන්නේත් මේ මාධ්‍ය ආයතන විසින් බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි.
ඒ විතරක් නොවෙයි. මාධ්‍ය කාර්යයේ නිරතවන බොහෝ දෙනකුගේ සැබෑ වෘත්තිය මාධ්‍ය සේවාව නොවෙයි. වෙනත් රජයේ හෝ පුද්ගලික අංශයේ වෘත්තියක නියැලෙන අතරතුර අමතර කීයක් හෝ සොයා ගැනීමට, සමාජ ගෞරවය ලබා ගැනීමට මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වී සිටිනවා. ඉතින් ඔවුන් වෘත්තීය මාධ්‍යවේදීන් යැයි හැඳින්විය නොහැකියි. එපමණක් නොවෙයි ඔවුන් කවදාවත් මාධ්‍ය විශේෂඥයන් ලෙස හැඳින්විය නොහැකි නිසා මාධ්‍යවේදියා කියන තැනැත්තාට වෘත්තීමය බවක් එහෙමත් නැත්නම් විශේෂඥ බවක් ලැබෙන්නේත් නැහැ. 
තවත් කාරණයක් තිබෙනවා. අප අපේ වෘත්තියට විශේෂඥ බවක් ලබාදෙන්නනම් අපි මාධ්‍ය ආචාර ධර්ම අනුගමනය කළ යුතුයි. නමුත් ඇතැම් ආයතන ඒවා ගැන සැලකිලිමත් නොවීම නිසා අපේම මාධ්‍යවේදීන් වෘත්තීය ආචාර ධර්ම ආරක්ෂා කරන්නේ නැහැ. එයට ඕනෑ තරම් උදාහරණ තිබුණත් ඒවා මෙහි සඳහන් කළ නොහැකියි. 
මා මේ බ්ලොග් සටහන ලියන්නේ අපේ වෘත්තියට විශේෂඥ බවක් ලබාදිය යුතුයි කියා අපේම සහෘදයන්ට කියන්නා සේම ඒ වෘත්තය විශේෂඥබවක් ඇති වෘත්තියක් බවට පත්කිරීමට අනාගත මාධ්‍යවේදීන් වන්නට සිහින දකින අයටත් ආරාධනා කරමින්. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත පාඨක ප්‍රේක්ෂකයන්ට අපේ රටේ මාධ්‍ය ගැන පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයැයි මා සිතනවා. ඔවුන් සියළු දෙනාටත් තම තමන්ගේ අත්දැකීම් සටහන් කරන්නට මෙය වේදිකාවක් වේවායැයි පතනවා.
මේ යන ආකාරයට මාධ්‍ය ඉදිරියට ගියොත් අපේ රටේ ජනමාධ්‍යයට එහෙමත් නැත්නම් මාධ්‍යවේදියාට කවදාවත් වෘත්තීමය තත්ත්වයක් එහෙමත් නැතිනම් විශේෂඥ බවක් ලැබෙන්නේ නැහැ. ඒ ගැන ඇත්තටම කණගාටුයි. 


Friday, March 2, 2012

අල මහත්තයා










ගාල්ලේ හපුගල ගුණතිලක වලව්වේ උපන් ඔහු කෑගල්ලේ පදිංචියට ගියේ වාගොල්ල කෘෂි අභ්‍යාස විද්‍යාලයේ කළමණාකරු ලෙස සේවයේ යෙදී සිටියදී දුල්ලෑව වලව්වේ කුමාරි විශාකා මෙනවිය හා ඇතිකැරගත් පේ‍්‍රම සම්බන්ධය විවාහයක් බටව පත්කැර ගැනීමෙනි.
කෑගල්ලේ පදිංචි ව කෑගල්ලේදීම මෙළොව හැරගිය මේ ගාලූ පුත‍්‍රයා රට පුරා ප‍්‍රසිද්ධියට පත්වූයේ අල මහත්තයා නමිනි. ඒ නෝර්මන් අබේවික‍්‍රම ගුණතිලක මහතාය. 1985 දෙසැම්බර් මස 05 දා 63 වැනි වියේදී මෙළොව හැරගිය අල මහත්තයාගේ පවුලේ දරුවන් හය දෙනෙකි. අජන්තා, අනෝමා, ශ්‍යාමා, සරත්, සේපාලිකා, මනෝජ් නම් වූ මේ දරුවන්ගෙන් අනෝමා නව යොවුන් වියේදී මෙළොව හැරදා ගියාය. වැඩිමහල් පුතු සරත් ගුණතිලක මහා යළි සිය පියාගේ ගම් ප‍්‍රදේශයට පැමිණ විවාහ වී ගාල්ලේ පදිංචිව සිටියි.
‘‘ අපේ තාත්තා ලංකාවේ අල වගාව ව්‍යාප්ත කරද්දී පාලකයන් පවා කකුලෙන් ඇද්දා. ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙක් ශී‍්‍ර ලංකාවේ අර්තාපල් වවනවාට කැමති වුනේ නැහැ. නමුත් තාත්තා පුදුම කැපකිරීමක් කළා. තාත්තා හැමදාම කිව්වේ ලංකාවේ අල වවලා පිටරට පවා යැවිය හැකියි කියලා. නමුත් තවමත් අපි පිටරටින් අර්තාපල් ගෙන්වනවා. මේ ගැන දැන්වත් අවධානය යොමු කරනවානම් ලංකාවට විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් අල වගාවෙන්ම ලබාගත හැකියි. ’’
සරත් ගුණතිලක මහතා සිය පියාගේ දර්ශනය ඉතා කෙටියෙන් විස්තර කළේ ඒ ආකාරයෙනි.
1923 දී ගාල්ල හපුගල ගුණතිලක වලව්වේදී ෆ්රැුන්ලි හර්බට් අබේවික‍්‍රම ගුණතිලක මහතාට දාව තේගවතී ඔබේසේකර මහත්මියගේ කුසින් මෙළොව එලිය දුටු නෝමන් පවුලේ වැඩිමහ`එ දරුවා වූවේය. ගාල්ල ශාන්ත ඇලූවීෂියස් විද්‍යාලයේ ඉංගී‍්‍රසි ගුරුවරයා සහ බොක්සින් භාර ආචාර්ය වරයා වූ සිය පියාගේ අතේ එල්ලී අකුරු කරන්නට ඇලූවීෂියස් විද්‍යාලයට ගිය නෝමන් උසස් පෙළ ඉමළින් සමත්වී කුණ්ඩසාලේ පිහිටි ශී‍්‍ර ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ අධ්‍යාපනය සඳහා යොමුවීම ජාතියේ වාසනාවක් විය.
කෘෂි කර්ම විද්‍යාලයේ අධ්‍යාපනය ලබා එහි විභාගය ඉහළින්ම සමත්වූ නෝමන් ගුණතිලක මහතා කෘෂිකර්ම උපදේශකවරයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. ඔහුගේ දස්කම් හේතුවෙන්ම ටික කලක් යද්දී ඉල්ලූම් නොකළ විදෙස් ශිෂ්‍යත්වයක් ඔහු සොයා පැමිණියේය.
නෝමන් මහතා මිය යාමට පැය කිහිපයකට පෙර ඔහුගේ අත්දැකීම් පිළිබඳ සාකච්ඡුාවක් පටිගත කොට තිබේ. එම හ`ඩ පටයේ ඔහු මෙසේ පවසයි.
‘‘ මට පිටරටින් ආරාධනාවක් ලැබුණා. ඒ රටට ඇවිත් වැඩිදුර පුහුණු වෙන්න කියලා. නමුත් මේ කාලයේ මම ලංකාවේ කෘෂිකර්මාන්තයේ පාරම්පරික දැනුම ගැන විශාල වශයෙන් සොයාබලා තිබුණා. ඒ නිසා මම දැනගෙන සිටියා ලෝකයේ කිසිම රටක නැති කෘෂිකාර්මික දැනුම් සම්භාරයක් අපේ පාරම්පරික වගාකරුවන් සතුව තිබෙන බව. ඒ නිසා මට විදෙස් පුහුණුවක් අවශ්‍ය නැහැ. ඕන වුනේ අපේ දැනුම වඩාත් සංවිධානාත්මකව ප‍්‍රයෝජනයට ගන්න. අනික තමයි බහුජාතික සමාගම් ලෝකයේ කෘෂිකර්මාන්තය ආක‍්‍රමණය කරමින් තිබුණේ ඔවුන්ට අපිව දැලේ දාගන්න වුවමනා වුනා. මට හිතුනා පිටරට ගිහින් ඉගෙන ගන්නවා කියන්නේ ඔවුන්ට යටත් වීමක්. ඒ නිසා මම ඒ අවස්ථාව ප‍්‍රතික්ෂේප කළා. ’’
විදෙස් සංචාරය ප‍්‍රතික්ෂේප කළ ඔහුට වාගල්ල කෘෂි අභ්‍යාස විද්‍යාලයේ කළමණාකරු ලෙස පත්වීමක් ලැබිණි. එහි ප‍්‍රතිඵලය වූයේ සේවය සඳහා කෑගල්ලට ගිය නෝමන් තම පවුලේ ඥාතීත්වයක් ඇති දුල්ලෑව වලව්වේ නතර වූවේය. එම වලව්වේ දියණය වූ කුමාරි විශාකා සහ නෝමන් පෙම්වතුන් බවට පත්වූයේ නිරායාසයෙනි. දෙමාපිය ආශිර්වාදය මැද විවාහ වූ මේ දෙදෙනා කෑගල්ලේ බින්න බැස්සේය. නෝමන්ගේ ගම කෑගල්ල වූයේ ඒ ආකාරයෙනි.
‘‘ අපේ පවුලේ අක්කල තුන්දෙනයි, මමයි නංගයි මල්ලියි. අපි කෑගල්ලේ මිනිස්සු හැටියට තමයි ජීවත් වුනේ. ඉගෙන ගත්තේ එහේ නමුත් එක අක්කා කෙනෙක් මියගියා. තාත්තා ගාල්ලට පුදුම ආදරයක් දැක්වුවා. ඉඩ ලැබුණු හැම තිස්සෙම අපි ගාලූ එනවා. තාත්තාගේ පාසල ගැන එයා බොහොම ආඩම්බරයෙන් මෙනෙහි කරනවා. තාත්තා එක්ක එකට ඉගෙන ගත්තු මහාචාර්ය සිරිල් පොන්නම් පෙරුම, මහාචාර්ය එච්.ඞී.සුමනසේකර වගේ අය නිතර ඇසුරු කළා. ’’ කෑගල්ලේ ඉපදී ගාල්ලෙන් විවාහ වූ සරත් ගුණතිලක සිය පියාගේ උරුමය ගැන එසේ කීවේය.
කෘෂිකර්ම අමාත්‍යවරයාව සිට අගමැති බවට පත්වූ ඩඞ්ලි සේනානායක මහතා මෙරට විවිධ බෝග වගාවන් ප‍්‍රචලිත කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන්නට විය. ඒ සඳහා නෝමන් ගුණතිලක මහතා තෝරාගැණුනි. රතු ලූනු, බොම්බයි ලූනු, සුදු ලූනු, මයිසූර් පරිප්පු, පයිරිත‍්‍රම් මල් සහ අර්තාපල් වගා කිරීම ආරම්භ කැරුණි.
මේ අතරින් නෝමන් මහතා වඩාත් කැමැත්තක් දැක්වූයේ අර්තාපල් වගාවටය. හුන්නස්ගිරිය ප‍්‍රදේශයේ සිංහල අල නමින් හඳුන්වන කුඩා අර්තාපල් විශේෂයක් වගා කරන බව නෝමන් දැන සිටියේය. නමුත් විදෙස් උපදේශකයන්ගේ මතය වූයේ ශී‍්‍ර ලංකාවේ අර්තාපල් වැවිය නොහැකි බවයි.
ලංකාවේ ගොවි මහතුන් ඒ වනවිටත් සිංහල අර්තාපල් වගා කරන අතරම පිටරටින් ගෙනෙන අර්තාපල් අල කිහිපයක් ද වවා තිබෙනු නෝමන් දැක තිබුණේය. තම රටේ ගොවියන්ගේ දැනුම ගැන විශ්වාසය තැබූ නෝමන් විදෙස් උපදේශකයන් කොතෙක් කීව ද ලංකාවේ අර්තාපල් වවා පිටරට යැවීමට පවා හැකියාව ඇති බව දිගින් දිගටම කීවේය. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් ද කටයුතු කළේ මෙරට අර්තාපල් වැවිය නොහැකියැයි යන මතයේ සිටිමිනි.
එහෙත් අග‍්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතා නෝමන්ගේ මතයට ඉඩ දුන්නේය. එහි ප‍්‍රතිඵලය වූයේ අර්තාපල් වගාව ශී‍්‍ර ලංකාවේ ආරම්භ කිරීමයි. 1966 වර්ෂයේ ටොන් 68,000 ක් මෙරටට ආනයනය කැර තිබිණි. එකළ එහි වටිනාකම රුපියල් ලක්ෂ 280 කි. එදා විරුද්ධ පක්ෂයේ සිටි ඒ.සී.එස් හමීඞ් මහතා ද අල වගාව ප‍්‍රචලිත කිරීමට නෝමන් උනන්දු කළ බව මියයාමට සු`එ මොහොතකට පෙර නෝමන් කෘතවේදීව සිහිපත් කැර තිබේ.
ඔහු මෙසේ පවසා තිබේ.
‘‘ පාර්ලිමේන්තුවේ හැම පක්ෂයක්ම මේ අල වගාව ප‍්‍රචලිත කිරීමට සහයෝගය දුන්නා. අපි ඒ ආශිර්වාදය ඇතිව අල වගාවට කැමති සටන්කාමී ගොවි ජනතාව එකතු කරලා සමිතියක් හදලා ඒ මගින් රජයට ලිපි යැව්වා. මට රජයේ සේවකයකු ලෙස කිව නොහැකි දේ ඒ සංවිධානය මගින් කිව්වා. අවසානයේ විදෙස් විශේෂඳයන් කීවේ ලංකාවේ අර්තාපල් වැව්වොත් ඒ අර්තාපල් හීනි වා කියා. ඒ වගේම අඩි 6000 ට වඩා අඩු උසකින් යුතු ප‍්‍රදේශවල අර්තාපල් වැවිය නොහැකි බව ද මේ අය කිව්වා. නමුත් යාපනයේ පවා අර්තාපල් වවන්න පු`එවන් බව මම පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ට පෙන්වූවා. අපි දඹුල්ලේ අර්තාපල් සාර්ථකව වැව්වා. මෙය ඩඞ්ලි සේනානායක අගමැති තුමා දැක්කා. අපේ ඇතැම් කෘෂිකර්ම නිලධාරීන් කිව්වා දඹුල්ලේ බතල වවලා අර්තාපල් කියා කියනවායැයි කියා. අවසානයේ ඒ අර්තාපල් පරීක්ෂණ වලට පවා යවන්න සිදුවුනා. ’’
අර්තාපල් වැවීමට විදින්නට වූ දුෂ්කරතා නෝමන් මහතා විස්තර කැර ඇත්තේ ඒ ආකාරයෙනි. ඔහු පවසන්නේ අර්තාපල් වැවීමට සැළසුම් කරද්දී තමන්ට වඩා ඉහළ තනතුරු හෙබවූ බොහෝ දෙනකුට විදෙස් සංචාර ලැබුණු බවයි. ඔවුන් විදෙස් රටවල අතකො`එ බවට පත්වී අර්තාපල් වවනවාට විරුද්ධ වූ බව ද හෙතෙම සිය ජීවිතයේ අවසන් මොහොතේ සිහිපත් කැර තිබේ.
මේ විරෝධතා මධ්‍යයේ අර්තාපල් වැවීමට නෝමන් ගුණතිලක මහතාට අවසර ලැබිණි. වැලිමඩ මන්තී‍්‍ර කේ.එන්.බී.රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ වැලිමඩ ප‍්‍රදේශයේ අර්තාපල් වැවීමට ඉඩදිය යුතු බවයි. කෘෂිකර්ම අමාත්‍යවරයා දුන් පිළිතුර වූයේ නෝර්මන් මහතා විශ‍්‍රාම යැවීමට නිර්දේශ කිරීමයි. නමුත් අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ෆීලිකස් ඩයස් බණ්ඩාරනායක මහතාට කෘෂිකර්ම අමාත්‍යාංශය භාර දුන්නේය. එහි ප‍්‍රතිඵලය වූයේ වැලිමඩ අර්තාපල් වැවීමට රජය ප‍්‍රතිපත්තිමය තීරණයක් ගැනීමයි.
1952 දී අල වවන්නට ඩඞ්ලි සේනානායක කරන ලද සැළසුම කි‍්‍රයාවට නංවන්නට හැකිවූයේ 1963 ජූලි මාසයේදීය. 1965 ඩඞ්ලි යළි බලයට පත්වන විට වැලිමඩ අක්කර 1000 ක් වවා තිබිණි. නෝමන් කැඳවූ අගමැති ඩඞ්ලි වැලිමඩ ගොස් අල වගාව නිරීක්ෂණය කොට එය ලංකාවේම ව්‍යාප්ත කළ යුතු වගාවක් බව කියා සිටියේය. ඒ අනුව ඔහු කීවේ 1967 මැයි පළමුවැනිදා සිට පිටරටින් අර්තාපල් ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතා දමා මෙරට වගා කිරීම ආරම්භ කරන බවයි.
‘‘ එදා තාත්තාට පුදුම විදියට බලපෑම් ආවා. අල වගාව ආරම්භ කිරීම නවතා දැමීමට බොහෝ කුමන්ත‍්‍රණ සිදුවී තිබුණා. පේරාදෙණියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විෂයානුබද්ධ විශේෂඥයකු ලෙස සේවය කරමින් සිටි තාත්තා කිව්වේ කුඹුරු අක්කර එක්ලක්ස විසිපන්දහසකට වැය කරන වතුරෙන් අල වැව්වොත් මු`එ ලෝකයටම අවශ්‍ය අර්තාපල් ලංකාවෙන් ලබාදිය හැකි බව. නමුත් නිලධාරීන් මේවා පිළිගන්න කැමැතිවුනේ නැහැ. ’’ සරත් මහතා එසේ පවසයි.
අල වගාව ඇති කිරීමට නෝමන් ගුණතිලක මහතා ගත් අප‍්‍රතිහත ධෛර්යය හේතුවෙන්ම ශී‍්‍ර ලංකාවේ අර්තාපල් වගාව ආරම්බ කැරුණි.
පුත්තලම,මන්නාරම, වනාතවිල්ලූව පමණක් නොව තනිකර වැලි සහිත කල්පිටියේ පවා අර්තාපල් වගාකොට සාර්ථක ප‍්‍රතිඵල අත්කැර ගැනීමට නෝර්මන් ගුණතිලක හෙවත් අල මහත්තයා සමත්වූවේය.
නමුත් ඔහු මියයන්නට සු`එ මොහොතකට පෙර කියා සිටියේ ද අල වගාව ශී‍්‍ර ලංකාවේ ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවයි. නමුත් ශී‍්‍ර ලංකාවේ සැළසුම් කි‍්‍රයාත්මක කරන්නන්ට ඒ ගැන උනන්දුවක් නැත.
‘‘ මගේ තාත්තා මිය යන මොහොතේ පවා කිවේ අල වගාවෙන් ලංකාව ස්වයංපෝෂිත කරන්න පු`එවන් කියා. එයා කරපු පර්යේෂණ අනුව ලංකාවේ සිය`එම ප‍්‍රදේශවල අර්තාපල් වවලා අත්හදා බලා තිබුණා. තාත්තා මියගියාට පස්සේ මමත් පත්වූ සිය`එම රජයන්ට මේ ගැන අවධාරණය කරමින් සැළසුම් ඉදිරිපත් කළා. නමුත් තවමත් මේ අර්තාපල් වගාව ලංකාවේ ප‍්‍රචලිත කළ හැකි තරම් ව්‍යාප්ත කරලා නැහැ. කුඹුරු අක්කර 1000 ට ගන්නා ජලයෙන් අර්තාපල් අක්කර 7000 ක් වැවිය හැකියි. ’’
අල මහත්තයා සිය වැඩිමහල් පුතු සරත් මහතා ද තම වගාකටයුතු සමග සම්බන්ධ කැර ගත්තේය. සුදු ලූනු වගාව ලංකාවේ ප‍්‍රචලිත කරද්දී එහි කි‍්‍රයාකාරිකයකු වූ සරත් මහතාට තම පියාගෙන් උරුම වූ දැනුම සහ ඔහු අධ්‍යයනයෙන් ලබාගත් දැනුම් සම්භාරයක් තිබේ.
1983 දී විශ‍්‍රාම ගිය අල මහත්තයාගේ සේවය තවදුරටත් කෘෂිකර්ම ක්ෂේත‍්‍රයට අවශ්‍ය බව තේරුම්ගත් එවකට පැවති රජය ඔහුගේ සේවය දීර්ඝ කළේය නමුත් රෝගීව එක්තැන් වූ අල මහත්තයාට වැඩි කළක් සිය දැනුම හා සේවය මෙරටට ලබාදීමේ අවස්ථාව උදාවූවේ නැත.
ඔහුගේ මරණයෙන් වසර හතක් ගතවෙද්දී අර්තාපල් වගාවට වටපණු රෝගයක් වැළදිණි. ඒ ගැන පර්යේෂණ කළ විශේෂඥයෝ පැවසුවේ ශී‍්‍ර ලංකාවේ අර්තාපල් වැවීම වසර 15 ට නතර කළ යුතු බවයි. නමුත් සිය පියාගේ දැනුමින් සන්නද්ධව සිටි සරත් ගුණතිලක මහතා වහාම ඉදිරිපත්වූවේය. තමන්ට මේ වටපණු රෝගය මර්ධනය කළ හැකි බවත් ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියේය. අවසානයේ සරත් මහතා ජයගත්තේය. අලමහත්තයාගේ පුතා සිය පියාගෙන් පසු අල වගාව බේරාගත්තේ වටපණු රෝගය සාර්ථකව මර්ධනය කරමිනි. නමුත් ඔහු රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවකයෙක් නොවේ.
කාබනික පාරිසරික හා ග‍්‍රාමීය ගොවිතැන් ක‍්‍රම පදනමේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සරත් ගුණතිලක මහතා මෙසේ පවසයි.
‘‘ තාත්තා කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ පර්යේෂණ රැුසක් සිදුකළා. මේවායින් බොහෝ ප‍්‍රයෝජන ගත හැකියි. නමුත් ඒ ගැන දැනටත් තිබෙන අවධානය ප‍්‍රමාණවත් නැහැ කියන එක තමයි මගේ අදහස. විශේෂයෙන්ම පයිරිත‍්‍රම් කියන පලෑටිය වගා කිරීමේන එය කෘමි නාශකයක් ලෙස භාවිතා කළ හැකිය. ශී‍්‍ර ලංකාවට ගෙන්වන මදුරු ද`ගර වෙනුවට මෙය විකල්පයක් ලෙස ඉතා පහසුවෙන් භාවිතා කළ හැකිය. නමුත් මම දන්නේ නැහැ තවමත් මේ ගැන රජය උනන්දු වන්නේ නැත්තේ ඇයි කියා. අපිට අවශ්‍ය දැනුම ලබාදිය හැකිය කි‍්‍රයාත්මක කිරීම පාලකයන් සතු දෙයක් ’’
නෝමන් ගුණතිලක හෙවත් අල මහත්තයා ඉපදුණු නිවස දැන් බොහෝ වෙනස්කම් වලට භාජනය වී තිබේ. ඒ නිවස නවීකරණය වී ඇත්තාක් සේම ලෝකයේ වගාක‍්‍රම බොහොමයක් නවීකරණය වී තිබේ. එදා 50 දශකයේ සිට අනාගතය දුටු අල මහත්තයා ඉදිරිපත් කළ නවීන වගාක‍්‍රම යටතේ අර්තාපල් වගාව මේ රට පුරා ව්‍යාප්ත කිරීමේ අවස්ථාව තවමත් ඉතුරුව ඇත. අවශ්‍ය වන්නේ විදෙස් රටවලට සහ බහුජාතික සමාගම් වලට යටත් නොවී අලමහත්තයා වැනි දේශීය දැනුමෙන් හා නවීන තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ වූ සැබෑ ගොවි මහතුන් පෙන්වාදුන් මාර්ගය ඔස්සේ ගමන් කිරීමයි.