Tuesday, December 27, 2011

බැද්දේගම සිළිදුලා සොයා ගිය ගමන - 3






ඉඩම් නඩුවක් වෙනුවෙන් පරපුරේ විස්තර සොයාගෙන ඇති ගම්බාර මහතා සිළිදු හෙවත් රත්නායක දොන් ජුවන්ගේ හා ආරච්චිගේ පරපුරෙහි දෙදෙනකු සිටින ඉසව්ව අපට කීවේය. අපි ඔවුන් සොයා ගියෙමු. ගම්බාර කී පරිදි රත්නායක ආරියදාස නම් මහත්මයකුගේ නිවස සොයාගත හැකිවිය. අපගේ ඇමතුම අනුව අඩි හයක් පමණ උසැති අහිංසක ගැමියකු නිවසනි් එළියට පැමිණුනි. අපි ආ කාරණය ඔහු සමග කීවෙමු.

'' මහත්තයෝ මමනම් වැඩි විස්තරයක් දන්නේ නැහැ. උඩහ ගම්බාර තමයි විස්තර දන්නේ එයා හමුවුනානම් හරි "

අපි ඔහු හමුවූ බවත් අමතර විස්තර සෙවීමට පැමිණි බවත් කීවෙමු.

'' මහත්තයෝ බැද්දේගම කතාවේ සිළිදු කියන්නේ ද්විත්තව මිනීමැරුමක් කරපු කෙනෙක්. ඒ කතාවට පසුබිම් වෙලා තියෙන්නේ මගේ සීයා කරපු මිනී මැරීමක් බවයි හැමෝම කියන්නේ. එහෙම නම් සිළිදු කියලා වුල්ෆ් මහත්යා ලියලා තියෙන්නේ මගේ සීයා ගැන " යනුවෙන් ආරියදාස මහතා කීවේය.

සිළිදු කියන රත්නායක දොන් ජුවන්ට පුත්තු තුන්දෙනෙකුත් ගැහැණු ළමයින් එක්කෙනෙකුත් හිටියා. මගේ තාත්තා එන් එක්කෙනෙක්. යනුවෙන් ආරියදාස මහතා කීවේය.

'' මගේ තාත්තා රත්නායක දොන් අන්ද්‍රිස් අප්පුහාමි. අම්මා වීරසිංහ පතිරණගේ සුදන්තා හාමි. අපේ පවුලේ පිරිමි දෙදෙනෙකුත් ගැහැණු පස්දෙනෙකුත් හිටියා. ලෙනාඩ් වුල්ෆ්ගේ කතාවේ කියන්නේ සිළිදුගේ බිරිද ගැහැණු ළමයින් දෙදෙනා ලැබුණු අළුතම මියගිය බවක්. ඒත් අපේ ආත්තම්මා සීයා හිරේට ගියාට පස්සේ අපේ තාත්තලාව හදාවඩාගෙන මේ ගමේම ජීවත්වෙලා මියගිහින් තියෙන්නේ." ඔහු කියයි.

ලෙනාඩ් වුල්ෆ් මහතා රත්නායක දොන් ජුවන් කරනු ලැබූ මිනී මැරුම පසුබිම් කරගෙන ලියන ලද කතාවේදී ජුවන් වෙනුවෙන් ප්‍රබන්ද කරන ලද සිළිදු නම් චරිතයෙහි පවුලේ විස්තර වෙනස් කැර ඇති බව ජුවන්ගේ මුණුපුරා පවසන තොරතුරු අනුව පැහැදිලිවෙයි.

ලෙනාඩ් වුල්ෆ්ගේ කතාවේ ඇත්තේ ඉතාමත්ම දුප්පත් ජීවිතයක් ගතකරන සිළිදුගේ දියණිය වූ පුංචි මැණිකාගේ ස්වාමියා වන බබුන් සිරගත කිරීමට බබේ ආරච්චි බොරු නඩුවක් පැටලවූ බවයි. ගමට පැමිණ සිටි ප්‍රනාන්දු නම් මුදලාලි පුංචිමැණිකා ලබාගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ආරච්චි මෙය සිදුකර ඇත. පුංචි මැණිකාගේ ස්වාමියා වූයේ ද බබේ ආරච්චිගේ බිරිදගේ සොහොයුරෙකි. එනම් ආරච්චිගේ මස්සිනා කෙනෙකි. බබුන් නොකළ වරදකට සිරගතවූ පසු සිළිදු විසින් ආරච්චි හා ප්‍රනාන්දු මුදලාලි මරාදමන ලද බව බැද්දේගම කතාවේ විස්තර කැරේ.

එහෙත් සිළිදුගේ හෙවත් රත්නායක දොන් ජුවන්ගේ මුණුපුරා රත්නායක ආරියදාස මහතා පවසන්නේ වෙනත් කතාවකි.

'' බැද්දේගම කතාවේ සිළිදු කියන අපේ සීයා මහා කැම්මැලියෙක් විදියට හදුන්වාදී තිබෙනවා. ඒත් එයා බො‍හොම උස මහත ඉතාමත් හොදින් ඇග හන්සි වී වැඩ කළ කෙනෙක්. මගේ තාත්තත් මහන්සිවී වගා කළා. අපේ ආත්තම්මගේ සහෝදරයෙක් මේ ගමේ ඉදලා තියෙනවා. එයා තමයි සීයව ඔය මිනීමැරුමට පොළඹවා තිබෙන්නේ. මැරැණු ආරච්චි සීයගේ මාමා කෙනෙක්. අපේ ආත්තම්මගේ සහෝදරයා. ඒ කියන්නේ සීයගේ මස්සිනා ආරච්චිත් එක්ක තිබුණු කෝන්තරයකට සීයව මේ මිනීමැරුමට යොමු කරපු බව අපේ තාත්තා ඒ දවස්වල කියනවා. "

ගම්බාරේ සහ රත්නායක ආරියදාස මහතා පවසන පරිදි සිළිදු අතින් මැරැම්කෑ අරච්චි සිළිදුගේ මාමා බව අපට දැනගන්නට ලැබිණි.

මහත්තයෝ ඔය නවකතාවේ විදියට නෙවෙයි මිනීමැරුම වෙලා තියෙන්නේ. අපේ තාත්තා කියපු විදියට ඇත්ත සිද්ධියත් මිනී මැරුම සිදුවුණු ආකාරයත් අතර ටිකක් වෙනස්කම් තියෙනවා. ආරියදාස මහතා එසේ කීවේය.

ඔහු කියන ආකාරයට රත්නායක දොන් ජුවන් හෙවත් සිළිදු සිය මස්සිනාගේ ඉගැන්නුම් අනුව මරාදමා ඇත්තේ මේ ආකාරයටයි.

කොහේදෝ සිට පැමිණි ජුවන් ආරච්චිගේ නිවසට ගොඩවැදී හරකුන් රංචුවක් තම හේනට වැදී වගාවිනාශ කළ බවත් ඔවුන් අල්ලා ගැටගැසූ බවත් එය සොයා බලා රාජකාරී කර හරක් හිමිකරුවානේ වන්දි ලබාදෙන ලෙසත් පවසා තිබේ.

මේ අවස්ථාවේදී ආරච්චි පවසා ඇත්තේ ජුවන් අපි ඔක්කොම ගමේ මිනිස්සු බැවින් හිමිකරුවා සමග කතා කොට සුදුසු බේරුමක් කරගන්නා ලෙසයි.

එහෙත් ජුවන් මෙයට කැමතිවී නැත. ජුවන්ගේ බලවත් පෙරැත්තය නිසා ඔහුගේ හේනට යාමට ආරච්චි එකගවී තිබේ. ඒ අනුව දෙදෙනා සමග හේනට ගොස් ඇති අතර ඒ අවස්ථාවේදී ජුවන් අත තුවක්කුවක් ද තිබී නැත.

ගම්මානය පසුකොට සිය හේනට ආරච්චි සමග යන ජුවන් එක් ස්ථානයක නැවතී තමන්ට දොට්ට පිළට යාමේ දැඩි අවශ්‍යතාවක් ඇති බැවින් ආරච්චිට ඉස්සර වෙන ලෙස පවසා ඇතැයි ද මුත්‍රා කිරීමට බව හගවමින් වනයට වැදුණු ජුවන් තමන් විසින් කලින් සගවා තබන ලද බෙහෙත් කොටා සූදානම් කළ තුවක්කුව /ගෙන ඉදිරියෙන් යන ආරච්චිට වෙඩි තබා ඇතැයි ද මේ මුණුපුරෝ කියති.

ආරච්චිට වෙඩි තැබූ ජුවන් කෙලින්ම ගොස් ඇත්තේ ආරච්චිගේ නිවස වෙතය. ඔහු එහි යනවිට ආරච්චිගේ පුතා නිවසේ සිට ඇත. දුවගෙන ආ ජුවන්

'' මම ගෝනෙකුට වෙඩි තිව්වා. ඌ මැරුණේ නැහැ. ආරච්චි මහත්තයා එතන ඉන්නවා. මට කිව්වා උණ්ඩයක් අරගෙන එන්න කියලා‍. " යනුවෙන් පවසා තිබේ.

නිවසට ඇතුළු වූ ආරච්චිගේ පුතා උණ්ඩයක් ජුවන් අතට දී තිබේ. ඔහු දුන් උණ්ඩය තුවක්කුවට දමාගත් ජුවන් මද දුරක් ගමන් කර නැවත හැරී ආරච්චි පුතාට ද වෙඩි තබා ඇත.

මියගොස් ඇත්තේ ආරච්චි මහතා සහ ඔහුගේ පුතා බව ජුවන් හෙවත් සිළිදුගේ මුණුපුරා කියයි.

මිනීමැරුම සිදුකළ ජුවන් සිය මස්සිනාගේ ඉගැන්නුම අනුව කෙළින්ම හම්බන්තොට දිසාපති කාර්යාලයට ගොස් තම මිනිසුන් දෙදෙනකු මරාදමා පැමිණි බව පවසා ඇත. එකළ හම්බන්තොට ආණ්ඩුවේ ඒජන්තවරයා වූ ලෙනාඩ් වුල්ෆ් මහතා ජුවන් සහ පොලිස් නිලධාරීන් ද සමග මල් අස්නි ගල්වැව ගමට පැමිණ අදාල මිනීමැරුම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබේ.

මිනීමැරුමෙන් පසු තම සීයාට වූ දෙය රත්නායක ආරියදාස මහතා මෙසේ කීවේය.

මගේ සීයා මිනීමරණ ජාතියේ කෙනෙක් නොවෙයි. හැමෝටම උදව්කරගෙන ජීවත්වුණු කෙනෙක් කියලයි ගමේ හැමෝම කියා තියෙන්නේ. ඒත් ආත්තම්මගේ අයියා කියූ නිසා මේ මිනීමැරුම කරල තියෙන්නේ. එයා කොහොමත් හොද දඩයක්කාරයේක. ගමේ සියඹලා ගහක් යට නඩුවේ සාක්ෂි සටහන් කරගෙන පසුව උසාවියේදී නඩුව අහලා සීයට මරණීය දණ්ඩනය නියම වෙලා තියෙන්ව. ඒත් මොකක්දෝ හේතුවක් නිසා එයාගේ දඩුවම ලිහිල් කරලා වසර 18 ක සිරදඩුවමක් පිරිනමලා. කොහොමහරි සීයා හිරෙන් නිදහස් වෙන්න කිට්ටුව හිරේ ඉදලා ගෙදරට ලිපියක් එවලා තියෙනවලු. තව ටික දිනකින් නිදහස් වෙනබව කියලා. සීය අහල එවලා එයාගේ ළමයි සහ බිරිදගේ සැප දුකත් ගමේ තත්ත්වයත්

මේ ලිපිය ලැබිල තියෙන්නේ සීයව මේ මිනීමැරුමට පොළඹවපු මස්සිනා අතටමයි. එයා ලිපිය ගැන කාටවත් නොකියා හිර ගෙදරට ලිපියක් යවල තියෙනවා බිරිදත් ළමයිනුත් ගමේ නැතැයි කියලා. ඒ වගේම ගම සම්පූර්ණයෙන්ම විනාශවෙලා බවත් නැවත පැමිණීමෙන් පලක් නොවන බවත් කියා යවලා.

හිරෙන් නිදහස් වුණු සීය නැවත ගමට ඇවිත් නැහැ. එයා කොහේ ගියාද කියලා හොයන්නවත් කවුරුවත් දන්නේ නැහැ. පස්සේ අපේ තාත්තලා හොල තියෙනවා. ඒත් කිසිම ආරංචියක් ලැබිල නැහැ. සීයා ගමට ආවොත් තමන්ට නපුරක් කරාවියැයි සිතා සීයාගේ මස්සිනාම සීයා ගමට එන එක වළක්වන්න ඇති කියා අපේ තාත්තා ඉස්සර කියනවා. ආරියදාස කියයි.

සිය පියාත්, මවත්, වැඩිමහලු සොහොයුරාත් සිටින ඡායාරෑපයක් පෙන්වන ආරියදාස මහතා තම සීයාත් පියාගේ මුහුණුවරම දැරූ බව ගම් වැසියන් කියා ඇතැයි අප සමග කීවේය.

මා සතු තවත් එක් කාර්යභාරයක් තිබේ. ඒ ආරච්චිගෙන් පැවත එන්නෙකු සොයා යාමයි. ඒ ස
දහාද ගම්බාර මහතා මා හට පිහිට විය.

ගුණපාල සිරිවර්ධන කියන්නේ ආරච්චිගේ නෑයෙක්. එයාව හමුවුණොත් තව විස්තර ගන්න පුළුවන් යැයි ගම්බාර මහතා කී අයුරු අප මතකයේ ඇත. අපි ඔහු සොයා ගියෙමු.

අතරමගදී හමුවූ ගම්වැසියකු ලබාදුන් තොරතුරු අනුව ගුණපාල සිරිවර්ධන මහතාගේ නිවස සොයාගැනීම එතරම් අපහසු වූයේ නැත. අව්‍යාජ සිනහවකින් මුව සරසාගතච් ගැමියකු අප ඉදිරියේ විය. මහත්තයෝ මගේ අම්මා තවතමත් ජීවතුන් අතර ඉන්නවා. මීගහජදුරේ නංගිලාගේ ගෙදර එහේ ගියොත් හොද විස්තරයක් ගන්න පුළුවන් වේවි. ඔහු කීවේය.

වයස්ගතව සිටින එහෙත් ඉතා නිරෝගී කාන්තාවක් අප සමග කතාවට එක්වූවාය. අනූහත්වැනි වියෙහි පසුවන ඇය පී.කේ.නෝනහාමිය.

බැද්දේගම නවකථාවේ සිළිදු කියල කියන්නේ රත්නායක දොන් ජුවන් කියල කෙනෙක්. එයාගේ අතින් මැරුම් කෑවේ මගේ මහත්තයාගේ ලොකු අප්පච්චි. ඒ කියන්නේ මගේ මාමණ්ඩිගේ අයියා. ඒ ආරච්චිට කියන්නේ බබේහාමි හෙවත් දොන් පේද්‍රිස් සිරිවර්ධන කියලා. දොන් ජුවන් කියනකෙනා ආරච්චිත් මරලා එයාගේ පුතාවත් මරලා. ඒ පුතා පොලිස් ඔපිසර කෙනෙක්. ඒ අයියාගේ නම කුසුමන් සිරිවර්ධන. තාත්තා ආරච්චි, පුතා පොලිස් ඔපිසර මේ පුතාට ගල්වැවේ පොලිස් රාළහාමි කියලත් කියා තිබෙනවා. මේ පොලිස් ඔපිසර මරා දැම්මට පස්සේ මගේ මහත්යගෙ තාත්තට පොලිස් ඔපිසර කම ලැබිල තියෙනවා. එයත් කුසුමන් සිරිවර්ධන. මගේ මහත්යාගේ නම දොන් ලුවිස් සිරිවර්ධන

මගේ මාමණ්ඩි ඉස්සර මේ කතාව කියන විදියට නම් මිනීමැරුම කළ දොන් ජුවන් අපේ ළම ඥාතියෙක්. එයාගේ නෝනගේ අයියාගේ කියුම් බසට තමයි මේ දේ කරල තියේනනේ ඔය වැඩේ පංගාඩං කරපු කෙනා ජයලක්ෂණ විජේනායක දොන් ලුවිස් කියල කෙනෙක්. එයා නෙටොල්පිටියෙන් ආපු කෙනෙක් කියල තමයි කියන්නේ . කොහොම වුනත් මිනිහ ජුවන්ට කියල තියෙන්නේ මේ දෙන්නව මරලා කෙලින්ම දිසාපති හාමුදුරුවෝ ළගට ගිහින් බාර වෙනන් මම ඇවිත් බේරගන්නම් කියලා. ජුවන් ඒ විදියටම වැඩේ සිද්ද කළා.

ඒ කාලේ හම්බන්තොට හිටපු ඒජන්ත හාමුදුරුවෝ ලෙනාඩ් වුල්ෆ් මහත්තයා. මේ මහත්තයා තවත් පොලිස් ඔපිසරල කිහිපදෙනෙකුත් එක්ක ජුවන්ව මාංචු දාගෙන ගමට ඇවිත් මහ වරැසාවේ ගං දොගොඩතලා ගිය දසක තමයි ඇවිත් තියෙන්නේ. කොහොම හරි එන්න දවස් ගණනක් ගතවෙලා. ඒ එනකොටත් මළසිරුරු මියගිය තැන්වලම තිබුණ කියලත් සමහරු කියනවා. සුදු මහත්තයා මේ නඩුව විභාග කළේ ගමේ ආරච්චිගේ ගේ ගාව තිබුණු සියඹලා ගහ යට ඉදගෙන. ජුවන් එල්ලුම් ගහට නියම වෙලා පසුව සමාවක් ලැබුන කියලා ආරංචිවුනා. ඒත් ගමටනම් ආවේ නැහැ. මිනිසුන් දෙදෙනෙක් මැරුවත් ජුවන් පොලිස් මුලාදෑනියෙක් කියලත් අපේ මාමණ්ඩි ඒ කාලේ කිව්වා. හැබැයි ඒ ගැන මම හරියට කියන්න දන්නේ නැහැ.

මල්අස්නි ගල්වැව පාළු වී වන ගහණයෙන් වැසී යාම පිළිබද අපි ඇයගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය.

'' මල්අස්නි ගල්වැව ගමේ උණ වසංගතය පැතිර ගියා. අපිත් 1938 දී ගල්වැව අතහැරලා මත්තල ගිහින් පදිංචි වුනා. ටික කාලයක් යනවිට ගල්වැව ගමම වනාන්තරයට යටවෙලා ගියා. " ඇය කියා සිටියාය.

සිය සේවා කාලය තුළ සිදුවූ ද්විත්ව මිනීමැරුමක් විභාග කළ ලෙනාඩ් වුල්ෆ් මහතා අපූරු කතාන්දරයක් '' ද විලේජ් ඉන් ද ජංගල්" නමින් ප්‍රබන්ධ කර 1913 දී එංගලන්තයේදී ප්‍රකාශයට පත්කර ඇත. මේ ප්‍රබන්ධ කතාව බැද්දේගම නමින් ලංකාව තුළ ප්‍රචලිත විය. එම කථාවේ පැවසෙන සැබෑ තතු සහ සිදුවූයේ කුමක්දැයි සොයා බලනු රිසියෙන් අප ගිය ගමන නිමාවට පැමිණ ඇත.

සිදුවීම වූ ස්ථානයේ සාක්ෂි වශයෙන් අද කිසිවක් ඉතුරුව නැත. ඇත්තේ ඝාතනය සම්බන්ධ සාක්ෂි සටහන් කරගත් ස්ථානයේ ඇති සියඹලා ගසක් සහ ජුවන්ගේ හරකා බ
දින ලද සූරිය ගසකුත් පමණි. එහෙත් ඔවුන්ගෙන් පැවතෙන්නන් මේ කතාව හොද හැටි අසා පුරුදු ඇත. ඔවුන්ගේ මතකයේ මේ සිදුවීම රැදී තිබෙන තාක්කල් මෙය නොනැසී පවතිනු ඇත.

Monday, December 26, 2011

බැද්දේගම සිළිදුලා සොයා ගිය ගමන - 2







උඩමත්තල ගම්මානය හරහා අපි ආ මාර්ගය ඔස්සේම ටික දුරක් ගමන් කර තුං මං හන්දියකින් දකුණට හැරි ගියෙමු. ගම්බාරයා කීවාක් සේම මාර්ගය දෙපසම ඇත්තේ තෙරක් නොපෙනෙන මහා වනාන්තයරයි.

'' අපි පොඩි කාලෙනම් මේ හරියේ හැට හැත්තෑවක් ඉන්න අලි රංචු හිටියා. උන් ඒ කාලේ අපට කිසිම කරදරයක් කළේ නැහැ. ඒත් අලින්ගෙන් මිනිසුන්ට වෙන කරදර හිරිහැර වැඩිවුණා. පසුගිය දවස්වල ලුණුගම්වෙහෙර දක්වා අලි එලෙව්වා. ඊට පසුවනම් තවම අලි දකින්න නැහැ. මේ මෑතක් වනතුරුම වලසුන් පවා හිටියා. ඒත් දැන් වලහෙක් දැක්ක කාලයක් මතක නැහැ. ඉස්සර හිටපු ගෝන්නු, මුවෝ දැන් ඒ තරම් පේන්න නැහැ. ඉදහිට ‍කැලේ මුවෝ ඉන්න බව පේනවා. තවමත් වල් ඌරෝනම් ඉන්නවා. නරි රංචුත් ඉන්න බව රෑට හූවෙන්ම කියන්න පුළුවන් . මොනරු වළිකුකුළෝ නම් වනාන්තරයේ ඉන්නවා. '' ගම්බාර කියයි.

අපි වැවක් අසලට පැමිණියමු. තරමක කුඩා වැවක් වන එහි ජලය පිරී තිබේ. ඒ අසල විශාල සියඹලා ගසකි. යතුරු පැදිය නවතන්නට යැයි කී ගම්බාර මහතා ඉන් බැසගත්තේය.

'' මෙතන තමයි මහත්තයෝ තැන. මේ වැව තමයි ගල්වැව කියන්නේ මේ මල් අස්නි ගල්වැව කියන ගම. මෙන්න මෙතැන තමයි බබේහාමි ආරච්චි හිටපු ගේ තිබිල තියෙන්නේ. " කියා ඔහු වන ගහනයට අත දිගුකර පෙන්වයි.

ළගින් ළගින් වැවී ඇති කටු සහිත පදුරැ නිසා ඒ අතරින් රිංගා යාමට ද නොහැක. නිවසක් තිබූ බවට සළකුණක් හෝ සොයාගත නොහැක ිවන පරිදි වනාන්තරය විසින් ගම්මානය ගිලගනු ලැබ ඇත. ලෙනාඩ් වුල්ෆ් මහතා ගම්මානය මෙම තත්ත්වයට පත්වන බව සිය කථාවෙන් පවසා ඇත්තේ මේ අයුරිණි.

'' වනයේ මහ ගසුත් කුඩා ගස් හා පුදුරුත් අවුරුද්දේ මාස දහයක්ම මැරි මැරි යයි. කොළ මැලවී වියළී වැටේ. බිම වියළි තණ හා නියගයට දැවී කළු ගැසී ගිය පැළෑටි ද අතර අතු රිකිලි ගැලවී වැටී දිරා යයි. එහෙත් වැසි කාලය එළඹුන විගස මුළු වනයම ඝනව වැඩී කොල පැහැයෙන් බැබළෙයි. එවිට හැම ඉඩක්ම, හැම එළිමහනක්ම, හැම මංතොටක්ම, හැම මිදුලක්ම වසා යට කරගෙන් යන්ට කැලය සැරසෙන්නේය. "

මේ වනවිට එය සත්‍යයක් වී ඇත. සිළිදුගේ දියණිය පුංචි මැණිකාගේ අභාවයත් සමගම මිනිස් වාසයේන තොර වූ ගම්මානය මුළුමනින්ම වනාන්තරය විසින් ගිලගනු ලැබ තිබේ. සියඹලා ගසත් ඒ අසල ඇති සූරියගසත් සිළිදුගේ කථාවේ නෂ්ඨාවශේෂ ලෙස ඉතුරුවී ඇති බව ගම්බාර මහතා කියයි.

වැවෙහි ජලය ගෙනයාම ස
හා මෑතක සකස් කළ ඇළ මාර්ගය ආසන්නයේම සියඹලා ගස පිහිටා ඇත. ඒ සියඹලා ගසට එක් පසෙකින් ආරච්චි මහතාගේ නිවස වූ බව පවසන ගම්බාර මහතා කියන්නේ සිය මවගේ උපන් නිවස හෙවත් සිරිවර්ධන බබුන් හාමිගේ නිවස පිහිටා තිබුණේ සියඹලා ගසෙහි අනෙක් පැත්තට වන්නට බවයි. එ් ස්ථානය ආසන්නයේ හරක් ගාලක් තිබූ බවත් ඒ හරක්ගාල තිබූ ස්ථානය ආසන්නයේ ඇති සූරිය ගසේ සිළිදු සිය හරකෙකු ගැට ගැසීමට පුරුදුව සිට ඇතැයි සිය මව පැවසූ බවත් ගම්බාර මහතා කීවේය.

බැද්දේගම නව කතාවේ සිළිදු සහ එම සිද්ධීන් මාලාවට අදාල සියළුදෙනාම එක් ගම්මානයක පදිංචි කරුවන් ලෙස ප්‍රකාශ වුවද සිළිදු වෙඩි තැබීම නිසා මියගිය ආරච්චි ඇතුළු සිළිදුගේ ඥාතීන්ගේ වාසය වී ඇත්තේ මෙම මල්අස්නි ගල්වැව නම් ගම්මානයයි. සිළි
දු නම් කථාවේ චරිතයට වස්තු බීජය වූ රත්නායක දොන් ජුවන් නැමැත්තා උඩමත්තල ගමේ පදිංචිකරුවෙකි. ඔහු සිය වගා කටයුතු සහ හරකුන් දිගේලි කිරීම සදහා දිනපතාම මල්අස්නි ගල්වැව හෙවත් ලෙනාඩ් වුල්ෆ් පවසන බැද්දේගමට පැමිණේ . එසේ පැමිණෙන ඔහු ගම්බාර මහතාගේ ආත්තම්මාගේ නිවසේ හෙවත් දොන් ජුවන්ගේ පුංචි අම්මාගේ නිවසින් සියලු කටයුතු සපුරාගෙන තිබේ.

අද ඒ නිවසද දක්නට නැත. වරිච්චි බිත්ති බැද කොළ අතු සෙවිල්ලා තිබූ ඒ නිවෙස් වනාන්තරය විසින් පහසුවෙන්ම ගිලගෙන තිබේ. වටපිටාව දැඩි නිහැඩියාවකි. එහි යම් ගුප්ත බවක් රැදී ඇතැයි සිතේ. ඈතින් ඇසෙන මොනරකුගේ අමිහිරි නාදය හැරුණු විට කිසිදු ශබ්දයක් නැත.

වැසි පොද වැටෙන්නට විය. මම වැස්සෙන් බේරීමට දැවැන්ත සියඹලා ගස යටට විත් ඒ ගසට වාරු වුනෙමි. මහත්තයෝ ඔය ගහ යට තමයි මේ නඩුව විභාග කරල තියෙන්නේ. මිනී මැරුම කරපු ජුවන් කෙළින්ම ගිහින් තියෙන්නේ දිසාපතිතුමා මුණ ගැහෙන්නනේ. ඒ පාර දිසාපතිතුමා සමග නැවත ගමට ඇවිත් ඒ කාලේ දිසාපති නෙනාඩ් වුල්ෆ් මහත්තයානේ. ඒ මහත්තයා මේ ගහයට ඉදගෙන තමයි ගමේ අයගේ සාක්ෂි එහෙම සටහන් කරගෙන තියෙන්නේ.

සිහින් පොද නැවතුණි. අපි ආපසු එන්නට පිටත්වීමු. මල් අස්නි ගල්වැව වනාන්තරයට ගොස් ඇති අයුරු ඇස් පනාපිටම දැකගත හැකිවිය. වනාන්තරය මැදින් මද දුරක් පැමිණී විට මහ වැසි ඇදහැලෙන්නට විය. ගම්බාරයාගේ නිවසට යනවා හැර වැස්සෙන් බේරෙන්නට කිසිදු ස්ථානයක් අතරමග නොමැත. මම යතුරු පැදි‍යේ වේගය වැඩි කළෙමි.

මහත්තයෝ පාර ලිස්සාවි යැයි ගම්බාර පවසනවාත් ඇසුණි. ඒ සමගම යතුරුපැදිය ලිස්සා ගියේය. පැමිණි වේගය අනුව උඩින් විසිවී ගිය මා පදුරක් මත පතිත විය. ඒ සමගම කොහෙන්දෝ ආ මහා බරක් මගේ ඇග මත වැටිණි. ක්ෂණයකින් සිහි එලවාගත් මම නැගිටින්නට උත්සාහ ගත් විට ගම්බාර මහතා මගේ ඇගෙහි වැදී පසෙකට පෙරළී සිටිනු දැක ගත හැකිවිය.

මගේ ඇග පුරාම සීරීම් තුවාල විය. නැගිට ගැනීමට ද අපහසුය. වහාම ගම්බාර මහතා අසලට ගොස් ඔහුට කථා කළෙමි. මුනින් අතට සිටි ඔහු සීරැවෙන් උඩුබැලි අතට හැරවුවද කිසිදු හැල හොල්මනක් නැත. ඔහුගේ නාසයෙන් ලේ ගලාවිත් ඇත. ඇස ආසන්නයේද තුවාලයකි. තත්ත්වය තරමක් බරපතල බව පෙනේ. තවමත් මහ වැසි ඇද හැලේ. වැස්සට තෙමෙමින්ම ඔහු නැගිටුවීමට උත්සාහ ගත්ත ද අසාර්ථක විය. සිහිමුර්ජා ත්ත්තවයකට පත්ව සිටි ගම්බාර ඔසවා ගැනීමට ද හැකියාවක් නැත. මට ද සිටුවාගෙන සිටීමේ අපහසුවක් දැනේ. උධව්වක් ඉල්ලන්නට කොනෙක්ද නැත. කවරෙකු හෝ අප සොයා පැමිණෙන තුරු මෙතැනම සිටීමට සිදුවෙයි. අප සිටි ස්ථානයේ සිට අඩි 20 ක් 30 ක් පමණ ඈතට ‍ොස් තිබූ යත=රැ පැදිය තවමත් ක්‍රියාත්මක වේ.

විනාඩි දෙක තුනකින් ගම්බාර මහතා කෙ

දිරි ගෑවේය. මම ඔහු වත්තන් කැර ගත්තෙමි. මොහොතකින් ඔහු නැගිට්ටේය.

Friday, December 23, 2011

බැද්දේගම සිළිදුලා සොයා ගිය ගමන - 1













'' උණුසුම් වාතය ද , දූවිලි ද, වියළී පොඩිවී ගිය දඩු පත්ද පිසගෙන ආ වන ගද ගම පුරා පැතිර සිටියේය. හැම දෙසින්ම උතුරු, නැගෙනහිර, දකුණු, බස්නාහිර යන සිව් දෙසින්ම ඈත නිල්වන් කදුවැටිය දක්වාද මෑත මහ මුහුද දක්වාද පැතිරී ගිය මහ වනයෙහිමය ගමෙහි මුල හා අගද වූයේ. ගම වනයෙන්ම පන් ගැනී වනයෙන්ම කෙළවර වූයේය. වනය, ගම වට කරගෙන ගමට ඉහළින් ද වැඩෙමින් ගම තදබද කරගෙන සිටියේය. ගෙමිදුල් හා එළිමහන් තැන් අකුල් කරගෙන මැටි ගෙවල් මිරිකාගෙන මංපෙත් අවුරා ගෙන වනය හාත්පසින්ම වැඩුණේය. ගම සම්පූර්ණයෙන්ම වන බත්වීම වළක්වා ගත හැකි වූයේ අවුරුදු පතා කැති පොරෝවලින් පහර දී පහත් කැර දැමීමෙනි. එය ගම වටාපිහිටි ජීවමාන ප්‍රාකාරයකි. කැති පහරට අසු නොවී නම් ක%මයෙන් වැවීගෙන විත් මුළු ගමම ගොදුරට ගන්නා එකම ජීව ප්‍රාකාරයකි. "

" The Village in the Jungle" නමින් ලෙනාඩ් වුල්ෆ් නම් හම්බන්තොට හිටපු දිසාපතිවරයා විසින් ලියන ලද ග්‍රන්ථය බැද්දේගම නමින් සිංහලයට පරිවර්තනය කළ ඒ.පී.ගුණරත්න මහතා දිරිපත් කරන ගම්මාන විස්තරයෙහි වනගත ගම්මානය පිළිබද එලෙස විස්තර වෙයි. මෙම ග්‍රන්ථය ඉංග්‍රීසි ජාතිකයකු විසින් ලාංකික ජන ජීවිතය පිළිබද
විවරණය කරනු ලන විශිෂ්ඨතම කෘතිය බව විද්වතුන්ගේ පිළිගැනීමයි. විසි වැනි සියවසේ මුල් භාගයේ එනම් 1908 අගෝස්තු 28 වැනිදා සිට 1911 මැයි 20 දක්වා හම්බන්තොට දිසාපතිවරයා ලෙස සේවය කළ ලෙනාඩ් වුල්ෆ් මහතා විසින් මීට සියවසකට පමණ පෙර ලියන ලද වනගත ගම්මානය සොයා යාමේ නොනිත් ආශාවෙන් පසුගිය 25 දා (2006 නොවැබ්මර් 25) තංගල්ලෙන් ගමන් ආරම්භ කළෙමි. කදුරුපොකුණේ ප්‍රේමදාස වීරසිංහ ග්‍රාම නිලධාරී මහතාද මා සමග මේ ගමනට එකතුවූවේය.

ලෙනාඩ් වුල්ෆ් දුටු වනගත ගමෙහි ප්‍රධාන චරිතය වූයේ මෘග වන සතුන් සමග උරෙනුර ගැටෙමින් සිට ද්විත්ව මිනීමැරුමක වරදකරු වූ සිළිදුය. ඔහු මා සිතෙහි මැවී තිබුණේ දැවැන්ත දේහයක් සහිත රෞද්‍ර මිනි‍සකු ලෙසිනි. බබේහාමි ආරච්චිරාළ, කර්ලිනාහාමි, පුංචි මැණිකා, බබුන් අප්පු, නැන්චොහාමි යන මේ සියලු චරිත මා සිතෙහි විවිධ වූ ප්‍රතිරූප මවා තිබිණි. අතීත සිංහල ගම්මානයක ගුණ සුවද සේම ඒවායේ පැවති කල කෝලාහලත් වුල්ෆ් මහතා අප ඉදිරියෙහි මනාව චිත්‍රණය කර තිබූ බැවින් බැද්දේගම පිළිබද යම් ප්‍රතිරූපයක් මා සිතෙහි විය. සිත පත්ලටම කිදා බැස ඒ පිළිබද සිතන විට සිතෙහි උපදින්නේ යම් තරමක වූ සංවේගයකි.

සිළිදුගේ දියණිය පුංචි මැණිකා බැද්දේගම සිටි අවසන් මිනිස් සත්ත්වයා වූ බව ලෙනාඩ් වුල්ෆ් පවසයි. සිළිදු වරදකරු වී වසර තුනක ඇවෑමෙන් බැද්දේගම මුළුමනින්ම බැද්දෙන් වැසී ගිය බව වුල්ෆ්ගේ කතාවෙන් පැවසේ. ඔහු වනගත ගම්මානයේ අවසාන විග්‍රහය කරන්නේ මේලෙසිනි.

'' පුංචි මැණිකාගේ ගෙයි බිත්තියට එන තුරු කැළෑව වැඩුණේය. වත්තේ වැට හැදීමට හෝ කැළය එළිකර දැමීමට හෝ ඈ උත්සාහ නොදැරීය. අන් ගෙවල මිදුල් වැසී ගියා සේම ඇගේ ගෙයි මිදුලද කැ‍ළයෙන් වැසී ගියේය. සියලුම මංපෙත් වැසී ගියේය. කෙළවරක් නොපා දිගට හරහට පැතිර සිටි මහ වනයෙහි ඇගේ ගෙය හිරවිය. ගෙතුළ පවා වාතය උණුසුමෙන් බර විය. දිරා ගිය බිත්ති, සිදුරු වී ගිය වහල ඇති ඇගේ කුඩා පැල්ත හැර අවට සියල්ල වනබත් වී ඉවරය. ලොකු කුඩා පදුරු මහ ගස් කටු පදුරු වැල් ගොමු පිරිවරා ගෙන ගොස් කුඹුරත් වැවත් වසා කැළය වැවී සිටියේය. ගමත් පුංචි මැණිකාත් අමතකව වනබත් විණි.

එලෙස විනාශ වී ගිය බැද්දේගම නවකතාවට වස්තු බීජ වූ ගම්මානය ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි මත්තල නම් ගම්මානය බවට ලැබුණු තොරතුරකට අනුව අපි උදෑසන හයට පමණ තංගල්ලෙන් ගමන් ඇරඹුවෙමු. තංගල්ලෙන් අගුණුකොළ පැලැස්සටත්, එතැනින් සූරියවැවටත්, සූරියවැව සිට මීගහජදුරටත් ගිය අපි මීගහජදුරේ සිට හම්බන්තොට දෙසට යන දුෂ්කර ගම්මානය ඔස්සේ මත්තල සොයා ගියෙමු. ලෙනාඩ් වුල්ෆ් මහතා පැවසූ පරිදි ගිනි කාෂ්ඨක අව්රශ්මියත් හමා එන දුහුවිල්ලත් දක්නට නැත. කිසි කලෙක නොවුණු පරිදි දිනපතා වැටෙන වර්ෂාවෙන් දුහුවිලි ඉවත්ව තිබේ. මාර්ගයේ මඩ ගොහොරු රැසක් දක්නට ඇත. හිරු එළිය හොදින් පතිත වී ඇතත් හමා එන මද නළ හේතුවෙන් එය සිරුර විඩාවට පත් නොකරයි. අප බලාපොරොත්තු වූ වියළි කර්කශ දේශගුණයක් එහි නැත. හාත්පස දළු ලා වැඩෙන තුරුගොමු සොදුරු හරිතවත් පරිසරයක් මවාපායි. යතුරු පැදියේ ගමන අපට විඩාවක් නොවීය. මාර්ගය දෙපස බොහෝ කොටසක් තවමත් වනයෙන් වැසී ගොසිනි. හේන් වගාව කළ බිම් හා කුඹුරු කිහිපයක් අපට පසුවී යයි. ඉදහිට හමුවන ගැමියෝ නොහදුනන අප දෙදෙනාට කට පුරා සිනහවකින් සංග්‍රහ කරන්නට අමතක කළේ නැත. අව්‍යාජ ගැමි සුව
තවමත් ඔවුන් අතරින් ඈත්ව ගොස් නැත.

මගේ ගමන් සගයා වූ වීරසිංහ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවකු සේම බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකි. ඔහුගේ උපදෙස් අනුව යතුරුපැදිය පැදවූවෙමි. බැද්දේගම නවකතාව දෙතුන් වරක් කියවා ඇති ඔහු බැද්දේගම චිත්‍රපටය ද නැරඹූ රසවතෙකි. එහෙත් ඔහු මත්තලට පැමිණ නැත.

මීගහජදුර හම්බන්තොට මාර්ගයෙන් හැරී ඉදිරියට හමුවූ ගැමියකුගෙන් අපි මත්තල ගමට යන්නේ කෙසේදැයි විමසූ විට ඔහු අපෙන් පෙරළා ඇසුවේ යා යුත්තේ උඩ මත්තලට ද, පල්ලෙ මත්තලට ද යන්නයි. එසේනම් එදා මත්තල දැන් දෙකට බෙදී ඇත. ලෙනාඩ් වුල්ෆ් '' ද විලේජ් ඉන් ද ජංගල් " නමින් හැදින්වූයේ මත්තල යැයි දැන එය සොයා ගිය අපට ගම්මාන දෙකක් හමුවී තිබේ.

මත්තල නම් ගම්මාන දෙකක් ගැන අපට කිවූ තරුණ ගොවි මහතා ලෙනාඩ් වුල්ෆ් ගැන සිළිදුලා ගැන හෝ බැද්දේගම නම් නවකතාවක් ගැන හෝ දන්නේ නැත.

තවත් මීටර පන්සියයක් පමණ ගමන් කළ අපට කුඹුරෙන් ගොඩවන ගොවියකු මුණ ගැසුණි. හු සමග කතා කළ අප පැමිණියේ ලංකාදීප පුවත්පතෙන් බවත් ලෙනාඩ් වුල්ෆ් ලියා ඇති බැද්දේගම නවකතාවේ සිටින සිළිදුලාගේ පරපුරේ අද ත්ත්තවය පිළිබද සොයන බව පැවසූවෙමු ඔහු කියා සිටියේ උඩමත්තල ගමට ගොස් ගල්වැවේ ගම්බාරයා හමුවී තොරතුරු විමසන ලෙසයි. ගම්බාරයා සිළිදුගේ මුණුපුරකු බව ද හෙතෙම කීවේය.

ඉතා දිගැති පිලක් සහිත මොණරකු පාරට පැමිණ අප දැක ඉක්මන් ගමණින් කුඹුරට බැස ගියේය. මොණරකු පිල් විහිදා කරන රංගනය අතිශය චමත්කාරජනකය. අප මේ යන ගමනේදී අතීතය විදහා දක්වන්නට හැකි වුවහොත් එය ද චමත්කාරජනක කතාවක් වනු නොඅනුමානය ගම්බාරයා යනු ගමෙහි භාරකරුවා බව නමෙන්ම පැහැදිලිවේ. ගොවි මහතා දුන් උපදෙස් අනුව අපි ගම්බාරයාගේ නිවස සොයා ගියෙමු.

සිළිදුලා, බේබිහාමි, ආරච්චිරාළලා ජීවත් වූ බැද්දේගම පුංචි මැණිකොගේ මරණයෙන් පසු මිනිස් වාසයෙන් තොරවූ බව අපි සිතා සිටියද උඩුමත්තල යනු ඉතාමත්ම ආකර්ශණීය වූ ගොවි ගම්මානයකි. ඉතා දැකුම්කළු කුඹුරු යාය හාත්පස පැතිරී ඇත. පොළවට සමතලා වූ නිවාස වසා වනලැහැබ විසින් බැද්දේගම ගිල ගත්තා යැයි වුල්ෆ් මහතා එදා කීවද මේ වනවිට ඔහුගේ ලෝ ප්‍රසිද්ධ ග්‍රන්ථයට පසුබිම් වූවායැයි විශ්වාස කරන මත්තල ප්‍රදේශයේ පවුල් රැසක් ජීවත් වෙති.

ගම්බාරයාගේ නිවසට අප යන විට ඔහු එහි සිටියේ නැත. ගම්බාරයාගේ හාමිනේත්, මුණුපුරෙකුත් පැමිණ අප පිළිගත්හ. ආ කාරණා නොවිමසාම වාඩි වෙන්නට යැයි ආරාධනා කළ ඇය කියා සිටියේ ගම්බාරයා කුඹුරට ගිය බවයි. තරමක් දුරින් පිහිටි දවල්ට බත්මුල රැගෙන නොගිය බැවින් මොහොතකින් පැමිණෙනු ඇතැයි ද ඇය කීවාය. ඔවුන් දෙදෙනා නොපැකිළව අප සමග සතුටු සාමීචියේ යෙදී සිටියදී දැනගත් තොරතුරු අනුව බැද්ගේම යනු මත්තල නොවේ. එදා බැද්දේගම කතාවට පසුබිම් වී ඇතතේ මල් අස්නි ගල්වැවි නම් ගම්නයයි. අද එහි ගමක් නැත. ලෙනාඩ් වුල්ෆ් සිය කෘථියේ පළමු පරිච්ඡේදයේ සදහන් කළාක් මෙන් වනාන්තරය විසින් ගම ආක්‍රමණය කරනු ලැබීම සාර්ථකව සිදුවී ඇත. ඒ ස්වභාවික සංසිද්ධිය පුංචි මැණිකාගේ අභාවයෙන් පසු ඔහුගේ කෘථියේ අවසන් පරිච්ඡේදයේ විවරණය කරන අයුරින්ම සිදු වන්නට ඇත. ඒ ගමේ ගමේ ඝාතන දෙකක් සිදුවූ බව සත්‍යයකි.

ගම්බාරයාගේ පුතෙකුද අප සමග කතාවට එක්විය. ගාල්ලට විවාහ වී එහි පදිංචිව සිටින ඔහු කුඹුරු වැඩ කිරීම සදහා ගමට පැමිණ ඇත. ගම්බාරයා සොයා ඔහු ගිය කුඹුරට මා සමග යාමට ඒ පුත්‍රයා එකග විය. ඔහු ජිනදාසයි.

ප්‍රධාන මාර්ගයෙන් හැරී අතුරු මාර්ගයට වැටුණු විට සුවිසල් කුඹුරු යායකි. '' මේ කුඹුරු දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ ඉදලා වගා කළා. මේ ඔක්කොම පාරම්පරික ඉඩම්. වැවේ වතුරෙන් වගා කරනවා." ඔහු යම් අභිමානයකින් යුතුව කියයි.

'' අපට මේහරියේ කුඹුරු නැහැ. ඔය මහත්තයා හොයන සිද්ධිය වනවිට අපේ මුත්තලා ගල්වැව පදිංචි කරුවෝ. පස්සේ ඒ ගම්මාන වල්බිහි වුනාම මෙහෙට ඇවිත්. ඉතින් අපේ කුඹුරු තවමත් තියෙන්නේ මල් අස්නි ගල්වැව කියන ගමේ ඒ ගම කැළේට ඇරුණත් අපි කුඹුරු වගා කරනවා. දැන් තාත්තා ගියපු තැනත් කුඹුරු යායක් තියෙනවා. "

වතුර පිරී ඇති උඩමත්තල වැවෙන් ගොවියෝ කිහිප දෙනෙක් ස්නානය කරමින් සිටිති. ඒ අසල සුවිසල් ගල් තලාවක් ඇත. එකල ගැමියන් වී වේලා ගත්තේ මේ ගල් තලාව මත අතුරා බව ජනදාස මා සමග කීවේය.

ඉදිරියෙන් තවත් වැවකි. අලුතෙන් සකස් කර ඇති වැව් බැම්ම මතින් අසිරැවෙන් යතුරුපැදිය ධාවනය කර ඉදිරියට යන විට වැව් කණ්ඩියේ පහළ එක් කෙළවරක පොළොව සමග පොර බදමින් සිටිනා කුඩා මිනිසෙකු දැකගත හැකි විය.

'' තාත්තේ මේ පත්තරේ මහත්තයෙක් ඇවිත් බඩු ටිකත් අරගෙන එන්න " යැයි ජනදාස උස් හඩින් පැවසුවේය. කිසිවක් නොඇසූ ගම්බාර සිය අඩුම කුඩුමත් රැගෙන වැව් බැම්මට ගොඩ විය. නැවත වැවට බැසගත් ඔහු මඩ සෝදා ගත්තේය.

මේ කුඹුරු යාය හොද සරුසාර ඉඩම්. මේ වැවත් දැන් හොදට පිරිලා. වතුර ප්‍රශනයකුත් නැහැ. ඒත් මහත්තයෝ කවුරුවත් මේ පාර මේ යායේ වැඩ පටන් ගත්තේ නැහැ. ඒ නිසා මම ඇවිත් නියරවල් ටික හැදුවා. සමහර විට මම පටන් ගත්තම අනිත් අය ඒවි කියල හිතනවා. යැයි ගම්බාර කීවේය.

ගම්බාර 70 වැනි වියෙහි පසු වන්නෙකි. ඔහු එතරම් උස් නැත. මිටි සිහින් සිරුරක් හිමි ඔහු කාළවර්ණය. මම ඔහු සොයා ගිය කාරණය කීවෙමි. '' අපි ගෙදර ගිහින් කතා කරමු " ඔහු කීවේය. අපි යළි ගමනට පිටත්වීමු.

''මහත්තයලට තේ ටිකක් හැදුවනං" කියමින් ගම්බාර සිය නිවසට ඇතුළු වූවේය. ඔහු යළි එළියට ආවේ දවල්ට කෑම ටිකක් කාලම යමු යැයි කියමිනි. විදේශිකයන් නිරන්තරවම වර්ණනා කරන සිංහල ගැමියාගේ ආගන්තුක සත්කාරය ඔවුන් කෙරන් ඈත්ව ගොස් නැත. ඔවුහු එය තම යුතුකමක් සහ වගකීමක් ලෙස සලකති.

ගම්බාර රැල් බුරුල් ඇර කථාව ආරම්භ කළේය.

මහත්තයෝ ඔය බැද්දේගම කියල කතාව ලියුවේ මේ මත්තල ගැන නොවෙයි. මීට ටිකක් ඈතින් කැළේට ගිය ගමක් තියෙනවා මල් අස්නි ගල්වැව කියලා. ඒ ගමේ තමයි ඔය කියන සිද්ධිය වෙලා තියෙන්නේ. සිලිදු කියා කෙනෙක් හිටියෙත් නැහැ. රත්නායක දොන් ජුවන් කියා කෙනෙකුට තමයි ඔය සිළිදු කියා කියන්නේ. මිනිහ මිනී මැරැම් දෙකක් කරල තියෙනවා . ඒ කතාව ඇත්ත.

අම්මගේ පැත්තෙන් තමයි මට එයාව ඥාති වෙන්නේ.

සිලිදුගේ චරිතයට පාදක වූ රත්නායක දොන් ජුවන්ගේ මවගේ නැගණිය හෙවත් සිළිදුගේ පුංචි අම්මා සිරිවර්ධන බබුන් හාමිය. බබුන් හාමිගේ දියණිය සමරවික්‍රම ගීගනගේ කළිගුහාමි ගම්බාර මහතාගේ මවයි. ඇය වසර 98 ක් ආයු වළදා මිය පරලෝව ගොස්ය. සිය මවට අවුරැදු 10-12 වයසේදී මෙම සිද්ධිය වූ බව ගම්බාර මහතාට ඔහුගේ මව පවසා තිබේ.

ඔය කියන සිළිදු උඩමත්තල කෙනෙක්. එයා ජීවත් වෙලා තියෙන්නේ මේ ගමේ . හැබැයි එයාගේ නඋ පරපුර හිටියේ ගල්වැවේ. ගල්වැව කියන ගම්මානය මූළික කරගෙන තමයි ඔය කියන බැද්දේගම කතාව ලියල තියෙන්නේ . මියගිය ආරච්චි අපේ ආත්තම්මගේ ඒ කියන්නේ සිරිවර්ධන බබුන් හාමිගේත් සිළිදුගේ අම්මගේත් මල්ලි. සිළිදු මරලා තියෙන්නේ තමන්ගේම මාමාව. අපට එතැනට යන්න පුළුවන්. වැවක් එහෙම තියෙනවා. නඩුව විභාග කරපු තැන සිළිදුග් හරක් ගැට ගහපු තැන බලන්න පුළුවන්. හැබැයි දැන් හද්ද කැලේ.

ගම්බාර මහතා නමින් සිං ආරච්චිගේ අමරජීවයි. කුඩා කළ සිට නිවසේ අය ගම්බාරේ යනුවෙන් ආමන්ත්‍රණය කළ නිසා ඔහු ඉබේම ගම්බාර වී ඇත. ලෙනාඩ් වුල්ෆ් බැද්දේම ලියන විට මල්අස්නි ගල්වැව ගම්මානයේ පවුල් හතක් වාසය කර ඇත.

අපි ඒ ගම්මානය සොයා යාමට තීරණය කළෙමු. මහ වන මධ්‍යයේ පාළු වී ගිය බැද්දේගම හෙවත් මල් ඇස්නි ගල්වැව සොයා යන මේ ගමනට ගම්බාර මහතා ද කඩිනමින් සූදානම් විය.