Friday, November 21, 2014

මාධ්‍ය කරුවාගේ කෙරුවාව - 1


මා මෙහි ලියූ එක් සටහනක් කියවූ අපේ මහින්ද පී. ලියනගේ මාධ්‍ය සහෘදයා බොහෝ වේදනාවට පත්ව මගෙන් එක් ඉල්ලීමක් කළේය. ඒ ‘‘මල්ලී අපේ අයගෙන් සිදුවන වැරදි වගේ ම අපේ අය විදින දුක් ගැහැට ගැනත් ලියන්න“ යැයි ඒ ඉල්ලීමයි. එ් ඉල්ලීම මහින්ද අයියා විසින් ඉදිරිපත් වීමටත් පෙර මා එය ලිවීමට සිතා සිටියේය. එසේ වුව ද වේලාවක් තිබුණේ නැත. දැන් එය ලිවිය යුතුය. මහින්ද අයියා මා දිරිමත් කළේය. එයට තුති.
මාධ්‍යකරුවා යනු ඉතා වැදගත් පිළිගැනීමක් ඇති පුද්ගලයෙකි. නමුත් ඔහුට ඒ වැදගත් කම ලැබුණ ද වෘත්තීය පිළිගැනීමක් නැති බව මා මුළින් ලීවේය. එහිදී වෘත්තීය පිළිගැනීමක් නැතිවීමට අපේ අයද වගකිව යුතු බැව් කී විට අපේ බොහෝ දෙනකුට බොහෝ රිදී තිබිණි. දැන් ඒ රිදීම අඩුවී ඇත. ඒ නිසා මෙය ලියා තැබිය යුතුය.
අපි මුලින්ම අපේ ප්‍රාදේශීය පොරවල් ගැන කතා කළ යුතුය. ප්‍රාදේශීය මාධ්‍යකරුවා යනු ගමේ ගොඩේ නගරයේ හෙන පොරකි. ඇමතිවරයාට, මන්ත්‍රීවරයාට, දොස්තරට, නීතීඥයාට, හාමුදුරුවන්ට, පොලිස් කාරයා ඇතුළු මෙකී නොකී සියළු ලොක්කන්ටත් ඉස්කෝලෙ මහත්තායාගේ සිට ගමේ පොල් කඩන මිනිහාටත් බෝක්කු මත රස්තියාදු ගහන කොල්ලාටත්, හොරටත් කුඩ්ඩාටත් ගමේ සිටින මාධ්‍යකරුවා පොරකි. ඒ නිසා ලොකු පිළිගැනීමක් ද තිබේ. ඉහත අයගෙන් හොඳ සහයෝගයක් ද ආදරයක්, කරුණාවක් හා ගෞරවක් ද ලැබේ

එසේ වුවත් අපේ අය මුහුණ දී තිබෙන ප්‍රධානතම ගැටළුවනම් මේ අයගෙන් සහයෝගය ලබා ගැනීම නොවේ. තමන් නියෝජනය කරන ආයතනයෙන් සහයෝගය ලබා ගැනීමයි. ආයතනයේ සිටින අය ගමේ සිටින මාධ්‍යකරුවන් හඳුන්වන්නේ ‘‘කොරා“ යනුවෙනි. කොරා යනු කොර ගසන නිසා කියන නමක් නොව කොරස්පොන්ඩන්ට් යන වචනය කෙටි කිරීමකි. මේ කොරා කිසිදිනක කොර නොගසන්නෙකු (වෘත්තීය වශයෙන්) බව පත්තර කන්තෝරුවේ හෝ රේඩියෝවේ හෝ රූපවාහිනී නාලිකාවේ හෝ සිටින ලොක්කන් මෙන්ම සොක්කන් ද අවබෝධ කරගන්නේ නැත. ඔවුන් සිතන්නේ ගමේ ඉන්නා කොරාලා ඔවුන්ගේ බත් බැලයන් කියාය.
(මා දිගටම ප්‍රාදේශීය මාධයකරුවන්ට කොරා යන්න භාවිතා කරමි. එය පහසුව සඳහාය)
නමුත් ඇත්ත එය නොවේ. පත්තරයක් ගෙන බලන්න. නැතිනම් රේඩියෝවේ හෝ රූපවාහිනියේ පුවත් අසන්න. මේ පුවත්වලින් වැඩි ප්‍රමාණයක් අදාල ආයතනයට එවා ඇත්තේ කොරාලා විසිනි. එසේ නම් කොළඹ ආයතනයේ ඒ.සී. කාමරයේ සිටිමින් සියළු පහසුකම්, ( වාහන, කැමරා, කඩදාසි, කෑම බීම, වරප්‍රසාද, වැටුප්, අතිකාල, වෙනත් දීමනා, නම්බු නාම) ලබාගන්නා තමන් පොරවල්වලට වඩා ගමේ කොරාලා ආයතනයටත් රටටත් දැනෙන්නට වැඩක් කරති.
එසේ වුව ද හැමදාමත් කොරාලාට ලැබෙන්නේ කුඩම්මාගේ සැළකිල්ලයි. කොරෙකු වසර 50ක් සේවය කළ ද කිසිදු උසස් වීමක් ලැබෙන්නේ නැත. ලියන්න කියන විට ලියන්නත් එපා කියන විට නොලියා සිටින්නත් කොරාට සිදුවෙයි. ස්ථිර දීමනාවක් නැත. ලැබෙන්නේ කෑලි ගාණට සොච්චම් මුදලක් පමණි. එපමණක් නොව රැකියාවේ කිසිදු ස්ථිරත්වයක් නැත.
වසර ගණනක් වෙහෙස මහන්සි වී එක් ප්‍රදේශයක සියළු වාර්තා ලියුව ද අළුතෙන් කොරෙක් පොර න්‍යාෙයන් ආවොත් පැරණි කොරා පැත්තකට තල්ලු කර දමා කොළඹ පොරවල් පොර කරගන්නේ අර අලුත් කොරාය. එවිට පැරණි කොරට යන එන මං නැත. ඒ කොරාගේ දු දරුවන් ද බඩ ගින්නේය. මේ නිසා කිසිදු ස්ථිර රැකියාවක් නැති කොරාලාට මේ මාධ්‍ය කලාවෙන් යැපෙන්නට බැරිය.
එපමණක් නොව පුවතක් ආයතනයට යවන්නට බොහෝ මුදල් වැය කරන්න කොරාලාට සිදුවේ. එක්කෝ ෆැක්ස් කළ යුතුය. නැත්නම් ඊ මේල් කළ යුතුය. ඡායාරූප ඊ මේල් මගින් හෝ මුද්‍රණය කර හෝ යැවිය යුතුය. මා දන්නා තරමින් ලංකාවේ එකම කොරෙකුට වත් අවශ්‍ය කිසිදු උපකරණයක් ආයතන වලින් සපයන්නේ නැත. ඉඳහිට වසරක පමණ කාලයකට කොළ මිටියක් ලැබෙයි. ඒ කොළ මිටිය ද කොළ සියයකට දෙසීයකට පමණ සීමා වන අතර ඒ එකදු කොළයක් හෝ ෆැක්ස් යන්ත්‍රයකටවත් ඇතුළු කරන්නට නොහැකිය. අඩුම ගණනේ කැමරාවක්, පටිගත කරන යන්ත්‍රයක්, පරිගණකයක් , යතුරුපැදියක් වැනි අවශ්‍ය උපකරණයක් ගැනීමට ආයතනයෙන් ණයක්වත් දෙන්නේ නැත. තම ශක්ති පමණින් ණයක් ගැනීමට බැංකුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වැටුප් ලේඛණයක් හෝ ලැබෙන්නේ නැත.
මේ කොතරම් දුක් ගැහැට විඳ යවන වාර්තාවක් පත්තරේ පළ වුණේ නැතොත් නැතිනම් විද්‍යුත් නාලිකාවේ විකාශය නොවුණොත් ගෙවීම් කරන්නේ ද නැත. ගෙව්වොත් ගෙවන්නේ ද සොච්චම් මුදලකි. ඇතැම් විටෙක දවසම කැපකර ලියන වාර්තාවකට ලැබෙන්නේ රුපියල් 150.00 ක් 200.00 ක් වැනි නොවටිනා මුදලකි. කුලී වැඩක් කලානම් දවසටකට රුපියල් 800ක් 1000ක් සොයා ගැනීමට හැකියාව ඇත.
පුවත්පත් වල හෝ රූපවාහිනී නාලිකාවක පුවතක් දමා ගැනීමට කොරාලා හමුවන පුද්ගලයෝ ද මේ ගැන සිතන්නේ නැත. ඇතැම් විට එක් ඡායාරූපයක් ගැනීමට කිලෝ මීටර 10-15 යා යුතුය. ඒ සඳහා පැය ගණනක් නැතිනම් දවසක්ම රස්තියාදු වීමට සිදුවේ. ලැබෙන්නේ මා මුලින් කියූ මුදලයි. යුතුරු පැදියක ගියානම් පෙට්‍රල් වියදමත් ඊට වැඩිය. මේ කරුණ ආයතන දැන සිටිය ද කිසිවක් කරන්නේ නැත. කළොත් ඔවුන්ට ලාභ පෙන්විය නොහැකි බැවින් එසේ කරනවා විය යුතුයැයි මට සිතේ.
පුවත් පලවන්නේ ද කොළඹ සීතල කාමරයේ සිටින පොරවල් වලට වුවමණා පරිදිය. ප්‍රවෘත්තිමය වටිනාකම කොතරම් ඇතතත් ඇතැම් විටෙක පුවත එවූ කොරා ලොක්කාට අල්ලන්නේ නැත්නම් සිත් දිනාගෙන නැත්නම් දිරවන්නේ නැත්නම් ඒ පුවත වැටෙන්නේ කුණු බක්කියටය. එසේ කළ නොහැකිනම් වෙනත් අයකුගේ නමින් පළවන අවස්ථා ද තිබේ.
තමන් යවන පුවතක් ප්‍රකාශයට පත්වනු දැක එය සැපයූ තැනැත්තා කවරකු වුව ද බෙහෙවින් සතුටට පත්වෙයි. එය මානසික සතුටකි. එය තවත් පුවතක් සැපයීම සඳහා පෙළඹවීමක් ද වෙයි. අප අතර සිටින බොහෝ කොරාලා කරන්නේ තමන්ගේ පුවත් පත්තරයේ හෝ විද්‍යුත් මාධ්‍යයේ ප්‍රකාශයට පත්වීමෙන් ලැබෙන මුදලටත් වඩා එමගින් ලැබෙන සතුට, සැනසුම හා චිත්ත ධෛර්යය බෙහෙවින් අගය කොට සළකන බව මගේ විශ්වාසය වී තිබේ. ඇතැම් අය මේ ගැන උනන්දු නොවී මුදල් මත ම සියල්ල තීරණය කරන බව ද පැවසේ. එහි වරදක් ද නැත. ජීවත් වීමටනම් මුදල් අවශ්‍යය. තම වෙහෙස දැනුම හා හැකියාව පිනට දීමට කිසිවෙකුට නොහැකිය. පුවතක් පළ නොවීමෙන් සාක්කුවට හානි වනවාට අමතරව වෙනත් විශාල හානියක් සිදුවේ. ඒ පුවත දුන් තැනැත්තාගේ විශ්වාසය පළුදු වීමයි. ඔහු හෝ ඇය එවිට තමන් වාර්තාව දුන් වාර්තාකරු ගැන විශ්වාසය තබන්නේ නැත. තවදුරටත් තොරතුරු ලබා දෙන්නේ ද නැත.
මේ සියලු ගැහැට මධ්‍යයේ අප විසින් කරන කාර්යය ඉතා අනාරක්ෂිතය. අපේ එක් වැඩිහිටි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක් සිටියේය. ඔහු ආයතනයකට තම දිවි පරදුවට තබමින් ක්‍රියා කරමින් සිටිය දී හදිසියේම රෝගාතුර වූවේය. මාස කිහිපයක් ඔහු ලියූ ලිපි වෙනුවෙන් දීමනා ලැබිණි. ඒ රෝගාතුර වූවාට පසු පුවත් පතේ පළවූ ලිපි වෙනුවෙන් පමණි. ටික දිනකින් රෝගයෙන් සුවය ලැබුව ද ඔහු වෙනදා තරම් කාර්ය ශූර ගමනට බිමනට සුදුසු තත්ත්වයක සිටියේ නැත. සිදු වූයේ ඔහුගේ ආයතනයෙන් කිසිදු කාර්යයක් ඔහුට භාර නොදීමයි. මේ නිසා ඒ මාධ්‍යකරුවාගේ ආර්ථිකය මුළුමනින් ම බිඳවැටිණි. මාස තුන හතරක් ගිය තැන ඔහු වෙනුවට ඔහුගේ බල ප්‍රදේශයට වෙනත් නව කොරෙක් බඳවාගෙන තිබිණි. වසර ගණනක් ආයතනයට කැපවී සේවය කළ ජ්‍යේෂ්ඨ කොරා අද දුකසේ කල් ගෙවයි. ඔහුගේ සහෝදර කොරාලා මෙය දැන සිටිය ද ඔහුට සරණයක් වීමට තරම් ආර්ථික හයියක් මේ මාධ්‍ය ක්‍රමය තුළ ඒ කොරාලාට ද නැත.
ප්‍රාදේශීය වාර්තා කරුවන් හෙවත් කොරාලා කිසිම ආයතනයක ස්ථිර සේවකයන් නොවන බැවින් මේ අවාසනාවන්ත තත්ත්වය උදාවී තිබේ.
මෙයට හොඳ උදාහරණයක් තිබේ. පසුගිය දා බදුල්ලේ දේශපාලන රැළියක දී තුවාල ලැබූ ප්‍රාදේශීය වාර්තාකරුට බරපතල ශල්‍ය කර්මයක් ද කළේය. ඔහුගේ ආයතන මෙන්ම අනෙක් මාධ්‍ය ආයතනත් ඔහු වෙනුවෙන් විශාල හඬක් නැගුවේය. අපි ද උද්ඝෝෂණ කළෙමු. දැන් ඒ සියල්ල අතීතයට එක්වී ඇත. ඔහු තුවාල සහිතව නිවසට වී සිටියි. දැන් කිසිවෙකුට ඔහු ගැන මතක නැත. මේ දිනවල ඔහුට ලැබෙන ආදායමක් ද නැත.
මුළු රට පුරාම විසිරී සිටින සියළුම කොරාලාට මුහුණ දීමට සිදුව ඇත්තේ අතිශය කණගාටුදායක අනාරක්ෂිත තත්ත්වයකට ය. මේ ගැන මාධ්‍ය ආයතන, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙන්ම පුවත්පත් මණ්ඩලයත් මාධ්‍ය සංවිධානත් අවධානය යොමු කළ යුතුය. දැනටමත් යොමු කැර ඇතත් සිදුවූ සෙතක් නම් පෙනෙන්නට නැත.

Wednesday, November 19, 2014

පිරිමි දරුවා ගැහැනු දරුවෙක් වෙයි. මහ මෝදර රෝහලේ ආශ්චර්යයක්


මිනිසුන් නිරන්තරව ම අසාධාරණයට ලක්වෙති. එසේ වුව ද තමන්ට ශක්තියක් නැති නිසාත් ඇතැම් විට විවිධ බලපෑම් නිසාත් නැතිනම් ඕනෑකමක් නැති නිසාත් ඒ අසාධාරණ විඳ දරාගෙන ඔවුන්ට ඉන්නට සිදුවන අවස්ථා බොහෝ විට අසන්නට දකින්නට ලැබෙයි. මේ තවත් එවැනි අවස්ථාවකි.
අප මාධ්‍යකරුවන් ලෙස අසාධාරණයට ලක්වන්නවුන් වෙනුවෙන් පෙනී සිටීමට කොතෙක් උත්සාහ ගත්ත ද අසාධාරණයට ලක්වූ තැනැත්තාට හෝ තැනැත්තියට සාධාරණය ඉටුකැර ගැනීමට අවශ්‍ය නැත්නම් අපට ද කරන්නට දෙයක් නැත.
ඇයට අපි සුනීතා යැයි කියමු (අන්වර්ථ නාමයකි) සුනීතා ගැබ් ගත්තාය. විශේෂඥ වෛද්‍යවරු කීවේ ඇයට පුතකු ලැබීමට නියමිත බවයි. මහත් සතුටින් ඉපිළ ගිය සුනීතා හා ඇගේ සැමියා සමන් දෙදෙනාම කුළුදුල් දරුවා පුත් කුමරකු වීම ගැන මහත් උද්දාමයකින් සිටියා. දරුවා ලැබීමට ඇය මහමෝදර රෝහලට ආවේ මීට දින කිහිපයකට පෙරදීය. දරුවා ලැබිණි. හෙදියක් ඇය අසළට පැමිණ මෙන්න ඔයාට පුංචි පුතෙක් කියා දරුවා පෙන්වූවාය. පුතුගේ මුහුණ දුටු සුනීතාට තමන් විඳි වේදනා සියල්ල අමතක විය.
ඇය වාට්ටුවට ගෙන ආවාය. පුදුමයකි. ඇයගේ ඇඳට ගෙනවිත් දුන්නේ පුංචි ලදැරියකි.
‘‘ කෝ මගේ පුතා. මට ලැබුණේ දුවෙක් නෙවෙයි. “ කියමින් ඇය කෑ ගැසුවාය. වාට්ටුවේ හෙද හෙදියෝ කලබල වූහ.
හෙදියන්ගෙන් චෝදනා එල්ල වූයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් හා සාත්තු සේවිකාවන් වෙතය. ඔවුන්ගේ වරදින් දරුවා මාරු වී ඇතැයි චෝදනා කෙරිනි. වාට්ටුවේ සේවිකාවෝ මේ ගැන වාද විවාද කරද්දී මට ඒ ගැන දැනගන්නට ලැබී එහි ගියෙමි.
ඒ යනවිට හෙදියෝ තත්ත්වය පාලනය කරගෙන තිබිණි. මව (සුනීතා) හා පියා හෙදියන්ගේ කාමරයේය. මා එහි ගොස් විනාඩි ගණනකට පසු එළියට ආ පියාගෙන් ඒ ගැන විමසුවෙමි.
‘‘ පොඩ්ඩක් ඉන්න මම කතාව කියන්නම් “ ඔහුගේ පිළිතුර විය.
විනාඩි කිහිපයකින් ඔහු යළි හෙදියන්ගේ කාමරයට ගියේය. යළි පැමිණි ඔහු මට කීවේ.
‘‘ නෑ මේක මාධ්‍යයට ප්‍රශ්නයක් නෙවෙයිනේ. අපිට ලැබුණේ දුවෙක් කියලා නර්ස්ලා කියනවා. ඒ වෙලාවේ වැරදීමක් වෙලා පුතෙක් පෙන්වා තියෙනවා. දැන් ප්‍රශ්නය විසඳිලා. ඒ නිසා මාධ්‍යයට මොනවත් කියන්න බැහැ“.
ඔහු මා සමග එවදන් පවසන විට හෙදියක් දුරකථන ඇමතුමක් ගනී. ඇගේ ඇමතුම ආරක්ෂක ප්‍රධානියාටය.
‘‘ අවසර නැතිව මීඩියා වලින් ඇවිත්, ඉක්මනට එන්න“
හෙදිය මා මාධ්‍යයෙන් යැයි දැනගත්තේ කෙසේ දැයි මා දන්නේ නැත.
මොහොතකින් මේ දරුවාගේ උපත් විස්තර වෙනත් මාර්ගයකින් පිරික්සා බැලුවෙමි.
ඉතාමත් පැහැදිලිය. උපත් විස්තරයේ ඇත්තේ පිරිමි දරුවකු උපත ලැබූ බවයි. නමුත් පසුව ඒ සියල්ල කපා දමා ගැහැනු දරුවකු බව සටහන් කර තිබේ.
මහමෝදර රෝහලේ දී උපදින පිරිමි දරුවන් ගැහැනු දරුවන් වෙන්නේත් ගැහැනු දරුවන් පිරිමි දරුවන් වෙන්නේත් ඒ ආකාරයෙනි.
සිද්ධියට තවමත් සතියක් ගතවූයේ නැත.
ඒ තාත්තාත් අම්මාත තමන් අසාධාරණයට ලක්වුව ද ඊට එරෙහිව නැගී නොසිටින්නේ නොහැකියාව නිසාද ? නැතිනම් අධිකාරීත්වයට ඇති බිය නිසාද ? නිවට කම නිසාද ? කිසිවකුගේ බලකිරීම් හේතුවෙන් ද ? වුවමනාවක් නැති නිසාද ? තමන්ට වූ අසාධාරණයේ තරම නොදන්නා නිසාද ? යන්න මා දන්නේ නැත.
ගැටළුවට මුහුණදුන් අය ඉදිරිපත් නොවන්නේ නම් අපට කරන්නට දෙයක් නැත. අවසානයේ මහමෝදර රෝහලේ ආශ්චර්යය මාධ්‍යයෙන් සැඟවී ගියේය.
අපට තේරුම් ගිය සත්‍යයනම් දරුවන් දෙදෙනකු රෝහල් සේවකයන්ගේ වරදින් මාරුවූ බවයි.

Monday, November 17, 2014

මාධ්‍ය වෘත්තියේ ගෞරවය සුරකිමු. කැලෑ පත්තර කලාවෙන් අත් මිදෙමු.

වර්තමානයේ මාධ්‍ය භාවිතයත් මාධ්‍යයේ යෙදෙන අය ගැනත් ඇත්තේ විවිධ මතයන්. බොහෝ අවස්ථාවල දී මෙය විවේචනාත්මකයි. සැබෑ විවේචනයක් සෑම විටම අවශ්‍ය බවයි මගේ පිළිගැනීම. ඒ නිසා මා මගේ බ්ලොග් සටහන මාස ගණනාවකට පසු යළි ආරම්භ කරන්නේ මාධ්‍ය ගැන විවේචනයකින්. ඇතැම් විට මෙය මාගේ මාධ්‍ය සඟයන්ට නීරස සටහනක් වේවි. නමුත් ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් හා ප්‍රේක්ෂකයන් මේ තත්ත්වය වටහාගත යුතුයි. එපමණක් නොවෙයි මාධ්‍ය කටයුත්තේ යෙදෙන අප ද මේ පිළිබඳ ස්වයං විවේචනයක යෙදිය යුතුයි. 
අපේ බොහෝ දෙනෙක් අභිමානයෙන් පවසන එක් දෙයක් තිබෙනවා. ඒ තමයි අපි සමාජ මෙහෙවරක් ඉටුකරණවායැයි කියා. නමුත් අද වර්තමානය වනවිට තමන් විසින් කළ යුතු මාධ්‍ය මෙහෙවර නැතිනම් සමාජ මෙහෙවර අමතක කරලා කෑලි ගාණට මුදල් හොයන්නන් බවට පත්වෙලා. එය ඛේදජනකයි. මේ කියවන මගේ පාඨකයන් අති බහුතරය සැබැවින්ම එය නොදන්නවා විය යුතුයි. දවස අවසානයේ බලන්නේ තමන් නිවුස් කියක් යැව්වාද කියා. නැතිනම් හෙට පත්තරේට නිවුස් කීයක් පලවෙයිද කියා. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ නිවුස් එක පත්තර කීයක පලවනවා ද කියා බලන අයත් ඉන්නවා.
දැන් මාධ්‍යවේදියාගේ ප්‍රධාන උපකරණය පෑන වෙනුවට ටිපෙක්ස් බෝතලය පත්වෙමින් තිබෙන්නේ මේ නිසා. ඒත් ඒකත් දැන් වෙනස් වෙමින් තියෙනවා. ඊ මෙල් නිසා. ඊමේල් වලත් අනන්‍යතාව නැති වෙලා. බොහෝ දෙනකුට තිබෙන්නේ පොදු ඊමේල්. එක්කෙනෙකුගේ ඊමේල් රහස් පදය තවත් කෙනෙකු සතුව තිබෙනවා. අපි හිතමු අප්පුහාමි කියා මාධ්‍යවේදියෙක් ඉන්නවා කියා. අප්පුහාමිගේ ඊමේල් ලිපිනය වගේම රහස් පදයත් කරෝලිස් කියන මාධ්‍යවේදියා සතුයි. කරෝලිස්ගේ ඊමේල් ලිපිනයත් රහස් පදයත් අප්පුහාමි ගාව තියෙනවා. අප්පුහාමිට නිවුස් එකක් ලැබුණම එයා කරෝලිස්ගේ ලිපිනයෙන් කරෝලිස්ගේ පුවත්පත් වලටත් යවනවාත. කරෝලිස්ට තොරතුරක් ලැබුණම එයා අප්පුහාමිගේ ඊමේල් ලිපිනයෙන් අප්පුහාමිගේ ආයතන වලටත් තොරතුර යවනවා. අද වර්තමානය වනවිට ඇතැම් මාධ්‍යවේදීන් තමන්ගේ නමින් පත්තරේ පලවන පුවත ගැන දන්නේවත් නැති තත්ත්වයට පත්වෙලා. මොකද ඒක ලියලා තියෙන්නේ වෙනත් කෙනෙක් නිසා .ඔන්න ඕක තමයි කැලෑ පත්තර කලාව. මේ නිසා මාධ්‍යෙය් ගෞරවය කෙලෙසෙනවා. එහි වෘත්තිය තත්ත්වය නැතිවෙනවා.
අපි මාධ්‍ය වෘත්තිකයන් විය යුතුයි. නැතිනම් එය විශේෂඥ සේවාවක් විය යුතුය. එසේ වුවත් ශ්‍රී ලංකාවේ මාධ්‍යයට එහෙමත් නැත්නම් මාධ්‍යකාර්යයේ නිරත පුද්ගලයන්ට (මාධ්‍යවේදීන්ට) තමන්ගේ වෘත්තිය විශේෂඥ එහෙමත් නැත්නම් (ප්‍රොෆෙෂනල්) පිළිගැනීමක් තිබෙනවාද ? එය සැබැවින්ම විමසා බැලිය යුතු සාකච්ඡාවට භාජනය කළ යුතු දෙයක්. 
අපි තමයි රටක් පාලනය කරන හතරවැනි බලය කියා අපි පුරසාරම් දොඩනවා. ඒ මතය ඔළුව උඩ තියාගෙන ඉන්නවා. විධායකය, ව්‍යවස්ථාදායක හා අධිකරණයට පසුව ඉන්නේ මාධ්‍ය කියා අපි කටමැත දෙඩවූවත් අපේ රටේ පැහැදිලි මාධ්‍ය නිදහසක් නැහැ. ඒ ගැන තවත් අටුවා ටීකා අවශ්‍ය නැහැනේ. මාධ්‍ය නිදහස නැති තොරතුරු දැන ගැනීමේ අයිතිය ස්ථාපිත නොකළ රටක මාධ්‍යයට රට පාලනය කරන සිව්වැනි බලවේගය විය හැකිදැයි ගැටළුවක්. 
තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි අපේ වෘත්තීයට වෘත්තීය පිළිගැනීමක් නොමැති වීම. විශේෂයෙන් ම එ් පිළිගැනීම ලබා ගැනීමේ පළමු කාරණය තමයි මාධ්‍ය ආයතනයකට යම් අයකු බඳවා ගැනීමේ දී සුදුසුකම් පරීක්ෂා කිරීම. නමුත් අපේ රටේ කිසිම ආයතනයක ප්‍රාදේශීය මාධ්‍යවේදීන් බඳවා ගැනීමේ දී ඔවුන්ගේ කිසිදු සුදුසුකමක් පරීක්ෂා නොකිරීම ඛේදජනකයි. ප්‍රාදේශීය පමණක් නොවෙයි ඇතැම් අවස්ථාවල දී ආයතනික මාධ්‍යවේදීන් බදවාගැනීමේ දී ද මේ සුදුසුකම් පරීක්ෂා කරන්නේ නැහැ. හිතවත්කම් වලට බඳවාගැනීම් සිදුවනවා. මේ නිසා ශ්‍රී ලංකාවේ සිටින මාධ්‍යවේදීන් අති බහුතරයක් මාධ්‍ය අධ්‍යාපනයක් නොලැබූවන්, එසේත් නැත්නම් ජාත්‍යන්තරයට සමගාමීව අදාල වෘත්තියේ නියැලීමට අවශ්‍ය පුහුණුවක්, දැනුමක්, අධ්‍යාපනයක් නොලැබූවන්. ඇතැම් අයට මූළික අධ්‍යාපන සුදුසුකම් ද නැහැ. (මා මේ සටහන සහෝදර මාධ්‍යවේදින්ට නීරස වේයැයි කීවේ මේ නිසා. ඒ වගේම ඔවුන් මට දෝෂාරෝපණය කරන බවත් මා හොඳින්ම දන්නවා. වෘත්තීය ගෞරවය රැක ගැනීමටනම් අප මෙය සාධාරණව විවේචනය කළ යුතුයි.) මේ නිසා අපේ වෘත්තියට වෘත්තීමය තත්ත්වයක් නැතිනම් විශේෂඥ තත්ත්වයක් ඇති කිරීමට නම් සුදුස්සන් ඕනෑකර තිබෙනවා. ඔවුන්ට විශාල ඉඩක් ඉතිරිව තිබෙනවා. 
නමුත් එහි අරක්ගත් ඇතැම් අය ඔවුන්ට කිසිසේත්ම ඉඩක් ලබා දෙන්නේ නැහැ. තමන්ට යන්තම් වාක්‍ය දෙක තුනක් ගලපා ගැනීමට හැකිවූ පමණින් තොග ගණන් පුවත් යවා ආයතනයේ සංස්කරණ ශිල්පීන් අතින් සංස්කරණය වී හැඩ වැඩ දමා පුවත්පත්වල පලවූවාට පසු පොර න්‍යායයෙන් ඔළුව උදුම්මාගන්නා ඇතැම් අය මාධ්‍ය කඩතුරාවට මුවා වී සමාජය හමුවේ පෙනී ඉන්නේ මාධ්‍ය ඔස්තාර්ලා ලෙසින්.
මේ තත්ත්වයට වර්තමානයේ හතු පිපෙන්නාක් සේ එළියට ආපු පත්තර කන්තෝරුත් පුරුදුවෙලා. ලියා එවන ඕනෑම දෙයක් පල කිරීමේ කැලෑ පත්තර කලාවකට යමින් මාධ්‍ය වෘත්තිය බංකොලොත් කරන්නේ ඒ ආයතන විසින්. මේ ආයතන නිසාම තමයි අපේ මාධ්‍ය වෘත්තිය විශේෂඥ බවක් නොලැබෙන්නේ. 
මාධ්‍ය වෘත්තිය විශේෂඥ වෘත්තියක් ලෙස ජාතික වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ලැබීමට මධ්‍යවේදියාගේ සුදුසුකම් වගේ ම වෘත්තීය ප්‍රමිතියක් තිබිය යුතුයි. නමුත් අපේ ඇතැම් මාධ්‍ය ආයන මේ ප්‍රමිතිය අමු අමුවේ ම උල්ලංඝනය කරන්නේ මාධ්‍ය ආචාර ධර්ම පවා බල්ලාට ඇද දමමින්. 
පොදු වැසිකිලියක දී තමන්ට ඇසෙන දේ පවා පත්තරේට වාර්තා කරන මාධ්‍ය ගැන දැනුමක් පුහුණුවක් නැති මාධ්‍යවේදීන් මාධ්‍ය ඔස්තාර්ලා බවට පත්කරන්නේත් මේ මාධ්‍ය ආයතන විසින් බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි.
ඒ විතරක් නොවෙයි. මාධ්‍ය කාර්යයේ නිරතවන බොහෝ දෙනකුගේ සැබෑ වෘත්තිය මාධ්‍ය සේවාව නොවෙයි. වෙනත් රජයේ හෝ පුද්ගලික අංශයේ වෘත්තියක නියැලෙන අතරතුර අමතර කීයක් හෝ සොයා ගැනීමට, සමාජ ගෞරවය ලබා ගැනීමට මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වී සිටිනවා. ඉතින් ඔවුන් වෘත්තීය මාධ්‍යවේදීන් යැයි හැඳින්විය නොහැකියි. එපමණක් නොවෙයි ඔවුන් කවදාවත් මාධ්‍ය විශේෂඥයන් ලෙස හැඳින්විය නොහැකි නිසා මාධ්‍යවේදියා කියන තැනැත්තාට වෘත්තීමය බවක් එහෙමත් නැත්නම් විශේෂඥ බවක් ලැබෙන්නේත් නැහැ. 
තවත් කාරණයක් තිබෙනවා. අප අපේ වෘත්තියට විශේෂඥ බවක් ලබාදෙන්නනම් අපි මාධ්‍ය ආචාර ධර්ම අනුගමනය කළ යුතුයි. නමුත් ඇතැම් ආයතන ඒවා ගැන සැලකිලිමත් නොවීම නිසා අපේම මාධ්‍යවේදීන් වෘත්තීය ආචාර ධර්ම ආරක්ෂා කරන්නේ නැහැ. එයට ඕනෑ තරම් උදාහරණ තිබුණත් ඒවා මෙහි සඳහන් කළ නොහැකියි. 
මා මේ බ්ලොග් සටහන ලියන්නේ අපේ වෘත්තියට විශේෂඥ බවක් ලබාදිය යුතුයි කියා අපේම සහෘදයන්ට කියන්නා සේම ඒ වෘත්තය විශේෂඥබවක් ඇති වෘත්තියක් බවට පත්කිරීමට අනාගත මාධ්‍යවේදීන් වන්නට සිහින දකින අයටත් ආරාධනා කරමින්. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත පාඨක ප්‍රේක්ෂකයන්ට අපේ රටේ මාධ්‍ය ගැන පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයැයි මා සිතනවා. ඔවුන් සියළු දෙනාටත් තම තමන්ගේ අත්දැකීම් සටහන් කරන්නට මෙය වේදිකාවක් වේවායැයි පතනවා.
මේ යන ආකාරයට මාධ්‍ය ඉදිරියට ගියොත් අපේ රටේ ජනමාධ්‍යයට එහෙමත් නැත්නම් මාධ්‍යවේදියාට කවදාවත් වෘත්තීමය තත්ත්වයක් එහෙමත් නැතිනම් විශේෂඥ බවක් ලැබෙන්නේ නැහැ. ඒ ගැන ඇත්තටම කණගාටුයි.