Monday, November 17, 2014

මාධ්‍ය වෘත්තියේ ගෞරවය සුරකිමු. කැලෑ පත්තර කලාවෙන් අත් මිදෙමු.

වර්තමානයේ මාධ්‍ය භාවිතයත් මාධ්‍යයේ යෙදෙන අය ගැනත් ඇත්තේ විවිධ මතයන්. බොහෝ අවස්ථාවල දී මෙය විවේචනාත්මකයි. සැබෑ විවේචනයක් සෑම විටම අවශ්‍ය බවයි මගේ පිළිගැනීම. ඒ නිසා මා මගේ බ්ලොග් සටහන මාස ගණනාවකට පසු යළි ආරම්භ කරන්නේ මාධ්‍ය ගැන විවේචනයකින්. ඇතැම් විට මෙය මාගේ මාධ්‍ය සඟයන්ට නීරස සටහනක් වේවි. නමුත් ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් හා ප්‍රේක්ෂකයන් මේ තත්ත්වය වටහාගත යුතුයි. එපමණක් නොවෙයි මාධ්‍ය කටයුත්තේ යෙදෙන අප ද මේ පිළිබඳ ස්වයං විවේචනයක යෙදිය යුතුයි. 
අපේ බොහෝ දෙනෙක් අභිමානයෙන් පවසන එක් දෙයක් තිබෙනවා. ඒ තමයි අපි සමාජ මෙහෙවරක් ඉටුකරණවායැයි කියා. නමුත් අද වර්තමානය වනවිට තමන් විසින් කළ යුතු මාධ්‍ය මෙහෙවර නැතිනම් සමාජ මෙහෙවර අමතක කරලා කෑලි ගාණට මුදල් හොයන්නන් බවට පත්වෙලා. එය ඛේදජනකයි. මේ කියවන මගේ පාඨකයන් අති බහුතරය සැබැවින්ම එය නොදන්නවා විය යුතුයි. දවස අවසානයේ බලන්නේ තමන් නිවුස් කියක් යැව්වාද කියා. නැතිනම් හෙට පත්තරේට නිවුස් කීයක් පලවෙයිද කියා. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ නිවුස් එක පත්තර කීයක පලවනවා ද කියා බලන අයත් ඉන්නවා.
දැන් මාධ්‍යවේදියාගේ ප්‍රධාන උපකරණය පෑන වෙනුවට ටිපෙක්ස් බෝතලය පත්වෙමින් තිබෙන්නේ මේ නිසා. ඒත් ඒකත් දැන් වෙනස් වෙමින් තියෙනවා. ඊ මෙල් නිසා. ඊමේල් වලත් අනන්‍යතාව නැති වෙලා. බොහෝ දෙනකුට තිබෙන්නේ පොදු ඊමේල්. එක්කෙනෙකුගේ ඊමේල් රහස් පදය තවත් කෙනෙකු සතුව තිබෙනවා. අපි හිතමු අප්පුහාමි කියා මාධ්‍යවේදියෙක් ඉන්නවා කියා. අප්පුහාමිගේ ඊමේල් ලිපිනය වගේම රහස් පදයත් කරෝලිස් කියන මාධ්‍යවේදියා සතුයි. කරෝලිස්ගේ ඊමේල් ලිපිනයත් රහස් පදයත් අප්පුහාමි ගාව තියෙනවා. අප්පුහාමිට නිවුස් එකක් ලැබුණම එයා කරෝලිස්ගේ ලිපිනයෙන් කරෝලිස්ගේ පුවත්පත් වලටත් යවනවාත. කරෝලිස්ට තොරතුරක් ලැබුණම එයා අප්පුහාමිගේ ඊමේල් ලිපිනයෙන් අප්පුහාමිගේ ආයතන වලටත් තොරතුර යවනවා. අද වර්තමානය වනවිට ඇතැම් මාධ්‍යවේදීන් තමන්ගේ නමින් පත්තරේ පලවන පුවත ගැන දන්නේවත් නැති තත්ත්වයට පත්වෙලා. මොකද ඒක ලියලා තියෙන්නේ වෙනත් කෙනෙක් නිසා .ඔන්න ඕක තමයි කැලෑ පත්තර කලාව. මේ නිසා මාධ්‍යෙය් ගෞරවය කෙලෙසෙනවා. එහි වෘත්තිය තත්ත්වය නැතිවෙනවා.
අපි මාධ්‍ය වෘත්තිකයන් විය යුතුයි. නැතිනම් එය විශේෂඥ සේවාවක් විය යුතුය. එසේ වුවත් ශ්‍රී ලංකාවේ මාධ්‍යයට එහෙමත් නැත්නම් මාධ්‍යකාර්යයේ නිරත පුද්ගලයන්ට (මාධ්‍යවේදීන්ට) තමන්ගේ වෘත්තිය විශේෂඥ එහෙමත් නැත්නම් (ප්‍රොෆෙෂනල්) පිළිගැනීමක් තිබෙනවාද ? එය සැබැවින්ම විමසා බැලිය යුතු සාකච්ඡාවට භාජනය කළ යුතු දෙයක්. 
අපි තමයි රටක් පාලනය කරන හතරවැනි බලය කියා අපි පුරසාරම් දොඩනවා. ඒ මතය ඔළුව උඩ තියාගෙන ඉන්නවා. විධායකය, ව්‍යවස්ථාදායක හා අධිකරණයට පසුව ඉන්නේ මාධ්‍ය කියා අපි කටමැත දෙඩවූවත් අපේ රටේ පැහැදිලි මාධ්‍ය නිදහසක් නැහැ. ඒ ගැන තවත් අටුවා ටීකා අවශ්‍ය නැහැනේ. මාධ්‍ය නිදහස නැති තොරතුරු දැන ගැනීමේ අයිතිය ස්ථාපිත නොකළ රටක මාධ්‍යයට රට පාලනය කරන සිව්වැනි බලවේගය විය හැකිදැයි ගැටළුවක්. 
තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි අපේ වෘත්තීයට වෘත්තීය පිළිගැනීමක් නොමැති වීම. විශේෂයෙන් ම එ් පිළිගැනීම ලබා ගැනීමේ පළමු කාරණය තමයි මාධ්‍ය ආයතනයකට යම් අයකු බඳවා ගැනීමේ දී සුදුසුකම් පරීක්ෂා කිරීම. නමුත් අපේ රටේ කිසිම ආයතනයක ප්‍රාදේශීය මාධ්‍යවේදීන් බඳවා ගැනීමේ දී ඔවුන්ගේ කිසිදු සුදුසුකමක් පරීක්ෂා නොකිරීම ඛේදජනකයි. ප්‍රාදේශීය පමණක් නොවෙයි ඇතැම් අවස්ථාවල දී ආයතනික මාධ්‍යවේදීන් බදවාගැනීමේ දී ද මේ සුදුසුකම් පරීක්ෂා කරන්නේ නැහැ. හිතවත්කම් වලට බඳවාගැනීම් සිදුවනවා. මේ නිසා ශ්‍රී ලංකාවේ සිටින මාධ්‍යවේදීන් අති බහුතරයක් මාධ්‍ය අධ්‍යාපනයක් නොලැබූවන්, එසේත් නැත්නම් ජාත්‍යන්තරයට සමගාමීව අදාල වෘත්තියේ නියැලීමට අවශ්‍ය පුහුණුවක්, දැනුමක්, අධ්‍යාපනයක් නොලැබූවන්. ඇතැම් අයට මූළික අධ්‍යාපන සුදුසුකම් ද නැහැ. (මා මේ සටහන සහෝදර මාධ්‍යවේදින්ට නීරස වේයැයි කීවේ මේ නිසා. ඒ වගේම ඔවුන් මට දෝෂාරෝපණය කරන බවත් මා හොඳින්ම දන්නවා. වෘත්තීය ගෞරවය රැක ගැනීමටනම් අප මෙය සාධාරණව විවේචනය කළ යුතුයි.) මේ නිසා අපේ වෘත්තියට වෘත්තීමය තත්ත්වයක් නැතිනම් විශේෂඥ තත්ත්වයක් ඇති කිරීමට නම් සුදුස්සන් ඕනෑකර තිබෙනවා. ඔවුන්ට විශාල ඉඩක් ඉතිරිව තිබෙනවා. 
නමුත් එහි අරක්ගත් ඇතැම් අය ඔවුන්ට කිසිසේත්ම ඉඩක් ලබා දෙන්නේ නැහැ. තමන්ට යන්තම් වාක්‍ය දෙක තුනක් ගලපා ගැනීමට හැකිවූ පමණින් තොග ගණන් පුවත් යවා ආයතනයේ සංස්කරණ ශිල්පීන් අතින් සංස්කරණය වී හැඩ වැඩ දමා පුවත්පත්වල පලවූවාට පසු පොර න්‍යායයෙන් ඔළුව උදුම්මාගන්නා ඇතැම් අය මාධ්‍ය කඩතුරාවට මුවා වී සමාජය හමුවේ පෙනී ඉන්නේ මාධ්‍ය ඔස්තාර්ලා ලෙසින්.
මේ තත්ත්වයට වර්තමානයේ හතු පිපෙන්නාක් සේ එළියට ආපු පත්තර කන්තෝරුත් පුරුදුවෙලා. ලියා එවන ඕනෑම දෙයක් පල කිරීමේ කැලෑ පත්තර කලාවකට යමින් මාධ්‍ය වෘත්තිය බංකොලොත් කරන්නේ ඒ ආයතන විසින්. මේ ආයතන නිසාම තමයි අපේ මාධ්‍ය වෘත්තිය විශේෂඥ බවක් නොලැබෙන්නේ. 
මාධ්‍ය වෘත්තිය විශේෂඥ වෘත්තියක් ලෙස ජාතික වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ලැබීමට මධ්‍යවේදියාගේ සුදුසුකම් වගේ ම වෘත්තීය ප්‍රමිතියක් තිබිය යුතුයි. නමුත් අපේ ඇතැම් මාධ්‍ය ආයන මේ ප්‍රමිතිය අමු අමුවේ ම උල්ලංඝනය කරන්නේ මාධ්‍ය ආචාර ධර්ම පවා බල්ලාට ඇද දමමින්. 
පොදු වැසිකිලියක දී තමන්ට ඇසෙන දේ පවා පත්තරේට වාර්තා කරන මාධ්‍ය ගැන දැනුමක් පුහුණුවක් නැති මාධ්‍යවේදීන් මාධ්‍ය ඔස්තාර්ලා බවට පත්කරන්නේත් මේ මාධ්‍ය ආයතන විසින් බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි.
ඒ විතරක් නොවෙයි. මාධ්‍ය කාර්යයේ නිරතවන බොහෝ දෙනකුගේ සැබෑ වෘත්තිය මාධ්‍ය සේවාව නොවෙයි. වෙනත් රජයේ හෝ පුද්ගලික අංශයේ වෘත්තියක නියැලෙන අතරතුර අමතර කීයක් හෝ සොයා ගැනීමට, සමාජ ගෞරවය ලබා ගැනීමට මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වී සිටිනවා. ඉතින් ඔවුන් වෘත්තීය මාධ්‍යවේදීන් යැයි හැඳින්විය නොහැකියි. එපමණක් නොවෙයි ඔවුන් කවදාවත් මාධ්‍ය විශේෂඥයන් ලෙස හැඳින්විය නොහැකි නිසා මාධ්‍යවේදියා කියන තැනැත්තාට වෘත්තීමය බවක් එහෙමත් නැත්නම් විශේෂඥ බවක් ලැබෙන්නේත් නැහැ. 
තවත් කාරණයක් තිබෙනවා. අප අපේ වෘත්තියට විශේෂඥ බවක් ලබාදෙන්නනම් අපි මාධ්‍ය ආචාර ධර්ම අනුගමනය කළ යුතුයි. නමුත් ඇතැම් ආයතන ඒවා ගැන සැලකිලිමත් නොවීම නිසා අපේම මාධ්‍යවේදීන් වෘත්තීය ආචාර ධර්ම ආරක්ෂා කරන්නේ නැහැ. එයට ඕනෑ තරම් උදාහරණ තිබුණත් ඒවා මෙහි සඳහන් කළ නොහැකියි. 
මා මේ බ්ලොග් සටහන ලියන්නේ අපේ වෘත්තියට විශේෂඥ බවක් ලබාදිය යුතුයි කියා අපේම සහෘදයන්ට කියන්නා සේම ඒ වෘත්තය විශේෂඥබවක් ඇති වෘත්තියක් බවට පත්කිරීමට අනාගත මාධ්‍යවේදීන් වන්නට සිහින දකින අයටත් ආරාධනා කරමින්. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත පාඨක ප්‍රේක්ෂකයන්ට අපේ රටේ මාධ්‍ය ගැන පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයැයි මා සිතනවා. ඔවුන් සියළු දෙනාටත් තම තමන්ගේ අත්දැකීම් සටහන් කරන්නට මෙය වේදිකාවක් වේවායැයි පතනවා.
මේ යන ආකාරයට මාධ්‍ය ඉදිරියට ගියොත් අපේ රටේ ජනමාධ්‍යයට එහෙමත් නැත්නම් මාධ්‍යවේදියාට කවදාවත් වෘත්තීමය තත්ත්වයක් එහෙමත් නැතිනම් විශේෂඥ බවක් ලැබෙන්නේ නැහැ. ඒ ගැන ඇත්තටම කණගාටුයි. 


No comments:

Post a Comment