Friday, November 21, 2014

මාධ්‍ය කරුවාගේ කෙරුවාව - 1


මා මෙහි ලියූ එක් සටහනක් කියවූ අපේ මහින්ද පී. ලියනගේ මාධ්‍ය සහෘදයා බොහෝ වේදනාවට පත්ව මගෙන් එක් ඉල්ලීමක් කළේය. ඒ ‘‘මල්ලී අපේ අයගෙන් සිදුවන වැරදි වගේ ම අපේ අය විදින දුක් ගැහැට ගැනත් ලියන්න“ යැයි ඒ ඉල්ලීමයි. එ් ඉල්ලීම මහින්ද අයියා විසින් ඉදිරිපත් වීමටත් පෙර මා එය ලිවීමට සිතා සිටියේය. එසේ වුව ද වේලාවක් තිබුණේ නැත. දැන් එය ලිවිය යුතුය. මහින්ද අයියා මා දිරිමත් කළේය. එයට තුති.
මාධ්‍යකරුවා යනු ඉතා වැදගත් පිළිගැනීමක් ඇති පුද්ගලයෙකි. නමුත් ඔහුට ඒ වැදගත් කම ලැබුණ ද වෘත්තීය පිළිගැනීමක් නැති බව මා මුළින් ලීවේය. එහිදී වෘත්තීය පිළිගැනීමක් නැතිවීමට අපේ අයද වගකිව යුතු බැව් කී විට අපේ බොහෝ දෙනකුට බොහෝ රිදී තිබිණි. දැන් ඒ රිදීම අඩුවී ඇත. ඒ නිසා මෙය ලියා තැබිය යුතුය.
අපි මුලින්ම අපේ ප්‍රාදේශීය පොරවල් ගැන කතා කළ යුතුය. ප්‍රාදේශීය මාධ්‍යකරුවා යනු ගමේ ගොඩේ නගරයේ හෙන පොරකි. ඇමතිවරයාට, මන්ත්‍රීවරයාට, දොස්තරට, නීතීඥයාට, හාමුදුරුවන්ට, පොලිස් කාරයා ඇතුළු මෙකී නොකී සියළු ලොක්කන්ටත් ඉස්කෝලෙ මහත්තායාගේ සිට ගමේ පොල් කඩන මිනිහාටත් බෝක්කු මත රස්තියාදු ගහන කොල්ලාටත්, හොරටත් කුඩ්ඩාටත් ගමේ සිටින මාධ්‍යකරුවා පොරකි. ඒ නිසා ලොකු පිළිගැනීමක් ද තිබේ. ඉහත අයගෙන් හොඳ සහයෝගයක් ද ආදරයක්, කරුණාවක් හා ගෞරවක් ද ලැබේ

එසේ වුවත් අපේ අය මුහුණ දී තිබෙන ප්‍රධානතම ගැටළුවනම් මේ අයගෙන් සහයෝගය ලබා ගැනීම නොවේ. තමන් නියෝජනය කරන ආයතනයෙන් සහයෝගය ලබා ගැනීමයි. ආයතනයේ සිටින අය ගමේ සිටින මාධ්‍යකරුවන් හඳුන්වන්නේ ‘‘කොරා“ යනුවෙනි. කොරා යනු කොර ගසන නිසා කියන නමක් නොව කොරස්පොන්ඩන්ට් යන වචනය කෙටි කිරීමකි. මේ කොරා කිසිදිනක කොර නොගසන්නෙකු (වෘත්තීය වශයෙන්) බව පත්තර කන්තෝරුවේ හෝ රේඩියෝවේ හෝ රූපවාහිනී නාලිකාවේ හෝ සිටින ලොක්කන් මෙන්ම සොක්කන් ද අවබෝධ කරගන්නේ නැත. ඔවුන් සිතන්නේ ගමේ ඉන්නා කොරාලා ඔවුන්ගේ බත් බැලයන් කියාය.
(මා දිගටම ප්‍රාදේශීය මාධයකරුවන්ට කොරා යන්න භාවිතා කරමි. එය පහසුව සඳහාය)
නමුත් ඇත්ත එය නොවේ. පත්තරයක් ගෙන බලන්න. නැතිනම් රේඩියෝවේ හෝ රූපවාහිනියේ පුවත් අසන්න. මේ පුවත්වලින් වැඩි ප්‍රමාණයක් අදාල ආයතනයට එවා ඇත්තේ කොරාලා විසිනි. එසේ නම් කොළඹ ආයතනයේ ඒ.සී. කාමරයේ සිටිමින් සියළු පහසුකම්, ( වාහන, කැමරා, කඩදාසි, කෑම බීම, වරප්‍රසාද, වැටුප්, අතිකාල, වෙනත් දීමනා, නම්බු නාම) ලබාගන්නා තමන් පොරවල්වලට වඩා ගමේ කොරාලා ආයතනයටත් රටටත් දැනෙන්නට වැඩක් කරති.
එසේ වුව ද හැමදාමත් කොරාලාට ලැබෙන්නේ කුඩම්මාගේ සැළකිල්ලයි. කොරෙකු වසර 50ක් සේවය කළ ද කිසිදු උසස් වීමක් ලැබෙන්නේ නැත. ලියන්න කියන විට ලියන්නත් එපා කියන විට නොලියා සිටින්නත් කොරාට සිදුවෙයි. ස්ථිර දීමනාවක් නැත. ලැබෙන්නේ කෑලි ගාණට සොච්චම් මුදලක් පමණි. එපමණක් නොව රැකියාවේ කිසිදු ස්ථිරත්වයක් නැත.
වසර ගණනක් වෙහෙස මහන්සි වී එක් ප්‍රදේශයක සියළු වාර්තා ලියුව ද අළුතෙන් කොරෙක් පොර න්‍යාෙයන් ආවොත් පැරණි කොරා පැත්තකට තල්ලු කර දමා කොළඹ පොරවල් පොර කරගන්නේ අර අලුත් කොරාය. එවිට පැරණි කොරට යන එන මං නැත. ඒ කොරාගේ දු දරුවන් ද බඩ ගින්නේය. මේ නිසා කිසිදු ස්ථිර රැකියාවක් නැති කොරාලාට මේ මාධ්‍ය කලාවෙන් යැපෙන්නට බැරිය.
එපමණක් නොව පුවතක් ආයතනයට යවන්නට බොහෝ මුදල් වැය කරන්න කොරාලාට සිදුවේ. එක්කෝ ෆැක්ස් කළ යුතුය. නැත්නම් ඊ මේල් කළ යුතුය. ඡායාරූප ඊ මේල් මගින් හෝ මුද්‍රණය කර හෝ යැවිය යුතුය. මා දන්නා තරමින් ලංකාවේ එකම කොරෙකුට වත් අවශ්‍ය කිසිදු උපකරණයක් ආයතන වලින් සපයන්නේ නැත. ඉඳහිට වසරක පමණ කාලයකට කොළ මිටියක් ලැබෙයි. ඒ කොළ මිටිය ද කොළ සියයකට දෙසීයකට පමණ සීමා වන අතර ඒ එකදු කොළයක් හෝ ෆැක්ස් යන්ත්‍රයකටවත් ඇතුළු කරන්නට නොහැකිය. අඩුම ගණනේ කැමරාවක්, පටිගත කරන යන්ත්‍රයක්, පරිගණකයක් , යතුරුපැදියක් වැනි අවශ්‍ය උපකරණයක් ගැනීමට ආයතනයෙන් ණයක්වත් දෙන්නේ නැත. තම ශක්ති පමණින් ණයක් ගැනීමට බැංකුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වැටුප් ලේඛණයක් හෝ ලැබෙන්නේ නැත.
මේ කොතරම් දුක් ගැහැට විඳ යවන වාර්තාවක් පත්තරේ පළ වුණේ නැතොත් නැතිනම් විද්‍යුත් නාලිකාවේ විකාශය නොවුණොත් ගෙවීම් කරන්නේ ද නැත. ගෙව්වොත් ගෙවන්නේ ද සොච්චම් මුදලකි. ඇතැම් විටෙක දවසම කැපකර ලියන වාර්තාවකට ලැබෙන්නේ රුපියල් 150.00 ක් 200.00 ක් වැනි නොවටිනා මුදලකි. කුලී වැඩක් කලානම් දවසටකට රුපියල් 800ක් 1000ක් සොයා ගැනීමට හැකියාව ඇත.
පුවත්පත් වල හෝ රූපවාහිනී නාලිකාවක පුවතක් දමා ගැනීමට කොරාලා හමුවන පුද්ගලයෝ ද මේ ගැන සිතන්නේ නැත. ඇතැම් විට එක් ඡායාරූපයක් ගැනීමට කිලෝ මීටර 10-15 යා යුතුය. ඒ සඳහා පැය ගණනක් නැතිනම් දවසක්ම රස්තියාදු වීමට සිදුවේ. ලැබෙන්නේ මා මුලින් කියූ මුදලයි. යුතුරු පැදියක ගියානම් පෙට්‍රල් වියදමත් ඊට වැඩිය. මේ කරුණ ආයතන දැන සිටිය ද කිසිවක් කරන්නේ නැත. කළොත් ඔවුන්ට ලාභ පෙන්විය නොහැකි බැවින් එසේ කරනවා විය යුතුයැයි මට සිතේ.
පුවත් පලවන්නේ ද කොළඹ සීතල කාමරයේ සිටින පොරවල් වලට වුවමණා පරිදිය. ප්‍රවෘත්තිමය වටිනාකම කොතරම් ඇතතත් ඇතැම් විටෙක පුවත එවූ කොරා ලොක්කාට අල්ලන්නේ නැත්නම් සිත් දිනාගෙන නැත්නම් දිරවන්නේ නැත්නම් ඒ පුවත වැටෙන්නේ කුණු බක්කියටය. එසේ කළ නොහැකිනම් වෙනත් අයකුගේ නමින් පළවන අවස්ථා ද තිබේ.
තමන් යවන පුවතක් ප්‍රකාශයට පත්වනු දැක එය සැපයූ තැනැත්තා කවරකු වුව ද බෙහෙවින් සතුටට පත්වෙයි. එය මානසික සතුටකි. එය තවත් පුවතක් සැපයීම සඳහා පෙළඹවීමක් ද වෙයි. අප අතර සිටින බොහෝ කොරාලා කරන්නේ තමන්ගේ පුවත් පත්තරයේ හෝ විද්‍යුත් මාධ්‍යයේ ප්‍රකාශයට පත්වීමෙන් ලැබෙන මුදලටත් වඩා එමගින් ලැබෙන සතුට, සැනසුම හා චිත්ත ධෛර්යය බෙහෙවින් අගය කොට සළකන බව මගේ විශ්වාසය වී තිබේ. ඇතැම් අය මේ ගැන උනන්දු නොවී මුදල් මත ම සියල්ල තීරණය කරන බව ද පැවසේ. එහි වරදක් ද නැත. ජීවත් වීමටනම් මුදල් අවශ්‍යය. තම වෙහෙස දැනුම හා හැකියාව පිනට දීමට කිසිවෙකුට නොහැකිය. පුවතක් පළ නොවීමෙන් සාක්කුවට හානි වනවාට අමතරව වෙනත් විශාල හානියක් සිදුවේ. ඒ පුවත දුන් තැනැත්තාගේ විශ්වාසය පළුදු වීමයි. ඔහු හෝ ඇය එවිට තමන් වාර්තාව දුන් වාර්තාකරු ගැන විශ්වාසය තබන්නේ නැත. තවදුරටත් තොරතුරු ලබා දෙන්නේ ද නැත.
මේ සියලු ගැහැට මධ්‍යයේ අප විසින් කරන කාර්යය ඉතා අනාරක්ෂිතය. අපේ එක් වැඩිහිටි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක් සිටියේය. ඔහු ආයතනයකට තම දිවි පරදුවට තබමින් ක්‍රියා කරමින් සිටිය දී හදිසියේම රෝගාතුර වූවේය. මාස කිහිපයක් ඔහු ලියූ ලිපි වෙනුවෙන් දීමනා ලැබිණි. ඒ රෝගාතුර වූවාට පසු පුවත් පතේ පළවූ ලිපි වෙනුවෙන් පමණි. ටික දිනකින් රෝගයෙන් සුවය ලැබුව ද ඔහු වෙනදා තරම් කාර්ය ශූර ගමනට බිමනට සුදුසු තත්ත්වයක සිටියේ නැත. සිදු වූයේ ඔහුගේ ආයතනයෙන් කිසිදු කාර්යයක් ඔහුට භාර නොදීමයි. මේ නිසා ඒ මාධ්‍යකරුවාගේ ආර්ථිකය මුළුමනින් ම බිඳවැටිණි. මාස තුන හතරක් ගිය තැන ඔහු වෙනුවට ඔහුගේ බල ප්‍රදේශයට වෙනත් නව කොරෙක් බඳවාගෙන තිබිණි. වසර ගණනක් ආයතනයට කැපවී සේවය කළ ජ්‍යේෂ්ඨ කොරා අද දුකසේ කල් ගෙවයි. ඔහුගේ සහෝදර කොරාලා මෙය දැන සිටිය ද ඔහුට සරණයක් වීමට තරම් ආර්ථික හයියක් මේ මාධ්‍ය ක්‍රමය තුළ ඒ කොරාලාට ද නැත.
ප්‍රාදේශීය වාර්තා කරුවන් හෙවත් කොරාලා කිසිම ආයතනයක ස්ථිර සේවකයන් නොවන බැවින් මේ අවාසනාවන්ත තත්ත්වය උදාවී තිබේ.
මෙයට හොඳ උදාහරණයක් තිබේ. පසුගිය දා බදුල්ලේ දේශපාලන රැළියක දී තුවාල ලැබූ ප්‍රාදේශීය වාර්තාකරුට බරපතල ශල්‍ය කර්මයක් ද කළේය. ඔහුගේ ආයතන මෙන්ම අනෙක් මාධ්‍ය ආයතනත් ඔහු වෙනුවෙන් විශාල හඬක් නැගුවේය. අපි ද උද්ඝෝෂණ කළෙමු. දැන් ඒ සියල්ල අතීතයට එක්වී ඇත. ඔහු තුවාල සහිතව නිවසට වී සිටියි. දැන් කිසිවෙකුට ඔහු ගැන මතක නැත. මේ දිනවල ඔහුට ලැබෙන ආදායමක් ද නැත.
මුළු රට පුරාම විසිරී සිටින සියළුම කොරාලාට මුහුණ දීමට සිදුව ඇත්තේ අතිශය කණගාටුදායක අනාරක්ෂිත තත්ත්වයකට ය. මේ ගැන මාධ්‍ය ආයතන, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙන්ම පුවත්පත් මණ්ඩලයත් මාධ්‍ය සංවිධානත් අවධානය යොමු කළ යුතුය. දැනටමත් යොමු කැර ඇතත් සිදුවූ සෙතක් නම් පෙනෙන්නට නැත.

No comments:

Post a Comment