Thursday, June 23, 2016

මාධ්‍ය සම්බන්ධ රේටිං දත්ත නිවැරදිද ?

මාධ්‍යවේදියෙක් ලෙස ගතකරන ජීවිතය ගැන හැමදාමත් ඇතිවෙන්නේ දැඩි කලකිරීමක්.
පසුගියදා මාධ්‍ය ප්‍රතිසංවිධානය කරමින් ‘‘ජනතාවට වගියන මාධ්‍යයක්“ වෙනුවෙන් නිර්දේශ 101ක් එළිදැක්වූ වෙලාවේ කිහිප දෙනෙක් ම ඉල්ලීමක් කළා මාධ්‍ය ජීවිතය සම්බන්ධ අත්දැකීම් ලියන්න කියලා. නමුත් වෙලාවක් තිබුණේ නැහැ.
හැමදාම මාධ්‍යයට සම්බන්ධ සටහනක් ලියන් බැරි වේවි.
නමුත් නැවත වතාවක් මේ වැඩේ පටන් ගන්න කියලා හිතුණා.
මේ සිද්ධිය වුණේ පසුගිය අඟහරුවාදා.
මම ගමන් කරමින් හිටියේ මෙරට මාධ්‍ය ඔස්තාර් කෙනෙකුගේ වාහනයේ.
වාහනේ ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියාත්මකයි.
තොරතෝංචියක් නැතිව තරුණියක් මොන මොනවාදෝ කියවනවා.
ඒ කියින එකම කතාවකටවත් මටවත් අර ඔස්තාර්ටවත් හිනා යන්නේ නෑ.
නමුත් මේ කියවන නිවේදිකාව තමන්ගේ කතාව කියලා මහා හයියෙන් හිනාවෙනවා.
ඒ විතරක් නෙවෙයි. තවත් පිරිසක් මහ හඬින් හිනා වෙන පටිගත කළ ශබ්දයකුත් එකතු කරනවා.
“මේ මොනවද මෙයා දොඩවන්නේ.....“ මට එකපාරටම කියවුණා.
මට හිතුණේ පැස්බරා දුවගෙන ගිහින් තමන්ගේ ඔළුව හංගගන්නවා වගේ කන් වැහෙන්නම ඔලුව වැලි ගොඩක හංගගන්න“
‘‘ඕව තමයි ඉතින් රේටින් වැඩිම ප්‍රෝග්‍රෑම්.“ අර ඔස්තාර් කියනවා.
‘‘අපරාදේ එයාර් ටයිම් එක“
ඒත් මාධ්‍ය ඔස්තාර් නිරුත්තරයි.
මගේ සිත අතීතයට දිව ගියා.
1991-1993 විතර කාලයේ මාත් එක්ක ජාතික රූපවාහිනියේ මුතුහර වැඩසටහන් වලට සම්බන්ධ වෙච්ච මගේ හොඳ මිත්‍රයෙක් අද මාධ්‍ය ආයතනයක ලොකුම පුටුවක ඉන්නවා. ඔහු මෙරට මාධ්‍ය කලාව වෙනස් කළා. මේ මනුස්සයා දවසක් මට හමුවුණු වෙලාවක කිව්වා පැරණි සින්දු සම්බන්ධයෙන් ඉතාමත්ම හරවත් වැදගත් වැඩසටහනක් උදේ කාලයේ දී තමන්ගේ ගුවන්විදුලි නාලිකාවේ විකාශය කරන්න සකස් කරමින් සිටින බව.
ඊට මාස කිහිපයකට පස්සේ මට මගේ මිත්‍රයා හමුවුණාම මම ඇහුවා
‘‘මචං අර ප්‍රෝග්‍රෑම් එක කෝ. කළේ නැද්ද ?“
‘‘ වැඩක් නෑ මචං කතා කරලා. මාකටිං එකෙන් කියනවා පරණ ශාස්ත්‍රීය සිංදු සම්බන්ධ වැඩසටහනක් විකුණන්න බැහැ කියලා. කවුරුවත් අහන්නේ නැහැ කියලා. ඒවට රේටිං නෑ කියලා ඒ නිසා කරන්න වුණේ නෑ කියනවා.“
මට මතක් වුණේ රූපවාහිනී වැඩසටහන් සම්බන්ධයෙන් රේටිං ගන්න හැටි.
ඒ ගැන මට අත්දැකීමක් තිබුණා.
ඉස්සර කොළඹට ඇවිත් මාධ්‍ය කෙරුවාව ඉගෙන ගන්නා කාලේ රස්සාවක් තිබුණේ නැහැ.
ඒ නිසා මමත් ඔය රේටිං ගන්න කොම්පැනියක සතියක් වැඩ කළා.
රේටිං ගන්න කොළ පුරවනවා. පුරවන කොළ ගානට තමයි ගෙවන්නේ
මේවා කරන අය වැඩිය ඉගෙන ගත්තු අය නෙවෙයි. නැත්නම් ඇත්තටම වෙනත් රස්සාවක් නැති නිසා මේ වැඩේට එන අය. (දැන් අය එහෙම නැතුව ඇති)
ඉතිං එයාලා ශාස්ත්‍රීය දේවල් ගැන දන්නේ නැහැ. රේටිං ගන්න ගිහින් අහන්නේ තමන් දන්න තමන් ප්‍රිය කරන වැඩසටහන් ගැන විතරයි.
තවත් කාරණයක් තියෙනවා. මේ රේටිං වැඩි හරියක් ගැනෙන්නේ උදේ වරුවේ ගෙදර ඉන්න අයගෙන්.
ඉතින්, රැකියා කරන අය, විද්වතුන්, විද්‍යාර්ථීන් මෙතැන දී මග හැරෙනවා.
අවසානයේ දී ලංකාවේ මාධ්‍ය ආයතන රේටිං වැඩිම වැඩසටහන් කියලා තෝරන්නේ මේ රේටිං ගන්න ආයතනවලින් දෙන කෘථිම දත්ත සමුදායක්.
එය සිදුකරන හා සමීක්ෂණයට භාජනය වන අයගේ රසවින්දනය තමයි අපිට බලෙන් පටවන්න හදන්නේ.
එතකොට පැසබරා ඔලුව හංගා ගත්තා වාගේ හැංගෙනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.
රටේ ජනතා විශ්වාසය දිනාගත් මාධ්‍ය සංස්කෘතියක් ඇතිකරන්න නම් මේ රේටිං ක්‍රමයත් වෙනස් කරන්න සිදුවෙනවා.

No comments:

Post a Comment