Wednesday, January 18, 2012

සිරිලක වටිනාම ලේඛණය










‘‘ පාසල අරිලා මම ගෙදර ආවේ වෙල් නියර දිගේ අතට අහුවෙන ගල්වලින් දිය පාරට දමා ගහමින් එකිනෙකා පොරකමින් කොල්ලො කුරුටටෝ කිහිප දෙනෙක් එක්ක මම ආවා. අපේ ඉස්සරහට ආපු මාමා කෙනෙක් කීවා අන්න කොල්ලෝ උඹලෑ අප්පුච්චට නිදානයක් ලැබිලා කියලා. අපි එක පාරටම ගෙවල් පැත්තට දුවගෙන ගියා. මම යනකොට ගෙදර මිනිස්සු පිරිලා. අප්පුච්චා මොකද්දෝ තහඩුවක් වගේ එකක් සුද්ද කරනවා. මම දුවගෙනම අප්පුච්චා ල`ගට ගියා. මේං බොලා මම කුඹුරෙන් අරගෙන ආවේ. බලපං කියලා මගේ අතට දුන්නා. ඒක මොකක්ද කියලා මටනම් තේරුණේ නෑ ’’
එදා එකොළොස්වැනි වියෙහි පසුවූ සුරවීරගේ අර්නෝලිස් මහතා අද 74 වැනි වියෙහි පසුවෙයි. අමුඩ ලේන්සුවකින් සැරසී කුඹුරට යාමට සූදානම්ව සිටින ඔහු මෙතෙක් ශී‍්‍ර ලංකාවේ හමුවූ අති විශිෂ්ඨතම ඓතිහාසික ලේඛණය පිළිබඳ තම මතකය අවධි කළේ ඒ ආකාරයෙනි.
ඒ පනාකඩුව තඹ සන්නසයි. 1948 පෙබරවාරි මාසයේ දිනක මොරවක් කෝරළයේ පනාකඩුව නම් දුෂ්කර ගම්මානයේ බෝගහදෙණිය නම් තම කුඹුර කොටමින් සිටි සුරවීරගේ කරෝලිස් අප්පුහාමි නම් ගොවි මහතාට මේ වටිනා තඹ සන්නස හමුවී තිබේ.
‘‘ අපේ බෝගහකුඹුර ඉඩම කොටමින් ඉන්නකොට අප්පුච්චාගේ උදැල්ල තද දෙයක වැදිලා. ඒක ගලක් වගේ නොදැනුණු නිසා විපරම් කරලා බලනකොට තමයි මේ තහඩු තුනක් හමුවෙලා තියෙන්නේ. ඒක ගෙදර අරගෙන ආවේ වටිනා දෙයක් වෙන්න ඇති කියලා හිතාගෙන. ගමේ හැමෝටම මේ ආරංචිය පැතිරිලා ගිහින් තිබුණා. මේ නිධානය බලන්න කට්ටිය ගෙදරට එන්න පටන්ගත්තා. අප්පුච්චා ගොරක දාලා තම්බලා ඒකේ තිබුණු මළකඩ ඉවත් කළා. එතකොට හැමෝම කිව්වේ මේක තඹ තහඩු තුනක් කියලා. ’’
ඔහු පවසන්නේ ගමේ උගතා වූ කොප්පර කොටුවේ වෙදමහතා ද තවත් පිරිසක් සමග පැමිණ මේ තඹ තහඩු නිරීක්ෂණය කළ බවයි.
‘‘ ඒ තහඩුවල මොනවාද අකුරු වගයක් තිබුණා. ඒත් අපි කාටවත් ඒවා කියන්න බැහැ. සමහර අකුරුනම් කියවන්න පුළුවන් වගේ පේනවා. හැමෝගෙම අදහස වුනේ මේකෙ මන්තර කොටල තියෙනවා කියා. අප්පුච්චාට ඕන වුනා මේකෙ රත්තරං තියෙනවාද කියා බලාගන්න. ඒ නිසා දවසක් මේකේ එක මුල්ලකින් පොඩි කෑල්ලක් කපාගෙන මාත් එක්ක අකුරැුස්සට ගියා. අකුරැුස්සේ රත්තරං වැඩ කරන තැනකට ඒ පොඩි කෑල්ල දුන්නම ඒ අය මොකක්දෝ දියරයකට දාලා කිව්වා මේකේ රත්තරං නැහැ තනිකරම තඹ තියෙන්නේ කියලා. අප්පුච්චාගේ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා තමයි අපි දෙන්නා ගෙදර ආවේ. එදා ගෙදර ඇවිත් අප්පුච්ච මේ තහඩු තුන කොට්ට උරේක ඔතලා වී මල්ලක් ඇතුලේ දාල තිබුණා. ’’
අර්නොලිස් මහතා පවසන්නේ ඇතැම් අය පැමිණ තඹ තහඩු තුන පිහියක් හදන්නට දෙන්නයැයි ඉල්ලා සිටි බවයි. වරක් ගමේ වෙද මහත්තයාට කථා කළ තාත්තා තඹ කෑලි තුන අරගෙන වී මල්ලක් දෙන ලෙස ඉල්ලා තිබේ.
‘‘ උඹලෑට ඕන්නං වී මල්ලක් අර පල. මට ඔය තහඩු කෑලි වලින් වැඩක් නෑ බොලං ’’ යනුවෙනි.
තඹ තහඩු කෑලි තුනට කිසිදු වටිනාකමක් නොමැති බව සක්සුදක් සේ පැහැදිලි වෙද්දී වරක් හීනෙන් පැමිණි අයෙක් කරෝලිස් අප්පුහාමිට පවසා ඇත්තේ මේක ඉතාමත් වටිනා දෙයක් ඒ නිසා ල`ග තියා ගන්න එපා යනුවෙනි.
එහෙත් එයට කරන්නට දෙයක් වූයේ නැත. ටික දිනක් යද්දී තම අප්පුච්චා රෝගාතුර වූ බවත් එක දිගට කරදර තම පවුලේ උදවිය සොයා ආ බවත් අර්නෝලිස් අදටත් සිහිපත් කරන්නේ බිය මුසු හැගීමකිනි. තඹ තහඩු තුන ලැබී මාස පහක් යද්දී පියාගේ තට්ටම් ප‍්‍රදේශයේ ගෙඩියක් හටගෙන එකතැනට වී දුක්විදින්නට වූ බව ද මේ සියල්ල ආගන්තුක තඹ තහඩු හේතුවෙන් ඇති වූ බව සියල්ලන්ගේම අදහස වූ බව ද ඔහු පවසයි. මේ නිසාම අපල ගෙන දෙන තහඩු තුන නිවසෙන් ඉවත්කළ යුතුයැයි ඔවුන් තීරණය කැර තිබේ.
‘‘ අප්පුච්චාගේ මස්සිනා තමයි බෙංගමුව පන්සලේ නායක හාමුදුරුවෝ. බෙංගමුව චේතියකන්දරාරාමයේ විහාරාධිපති පූජ්‍ය මොලොක්ගමුවේ සරණපාල හාමුදුරුවන්ට මේ තහඩු තුන දුන්නා. ටික කාලයකට පස්සේ මේ තහඩු තුන බලන්න ආපු ඌරාපොළ ශී‍්‍ර රතනජොති පිරිවෙනේ කඹුරුපිටියේ වනරතන හාමුදුරුවෝ තඹ තහඩු තුන අරගෙන ගිහින්. ටික දවසකින් මෙන්න බොලේ පොලීසියේ කට්ටියකුත් එක්ක මහත්වරු වගයක් අපේ ගෙදරට ආවා. අපි හොඳටම භය වුනා. වෙන්නේ මොකක්ද කියලා බලන්න අපේ ගමේ කට්ටියත් දුවගෙන ආවා. ’’
පුරාවිiා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා (පසුව මහාචාර් සෙනරත් පරණවිතාන* මහතා ඇතුළු පිරිසක් මේ තඹ තහඩු තුන ද රැුගෙන පැමිණ සිටියහ. නිවසට පැමිණ තම අප්පුච්චා සමග කතා බහේ යෙදුණු ඔවුන් තඹ තහඩු තුන ඉතා වටිනා තඹ සන්නසක් බව කියාසිටි ආකාරය අර්නෝලිස්ට තවමත් මතක තිබේ. එය ඉතා වටිනා තඹ සන්නසක් බවත් මහා විජයබාහු රජ්ජුරුවන් කුඩා කල රුහුණේදී හදාවඩාගත් සෙනෙවියකුට තෑගි බෝග දුන් ආකාරය මෙම සන්නසේ සඳහන් වන බවත් සෙනරත් පරණවිතාන මහතා කියා තිබේ.
ඒ කට්ටිය අපේ අප්පුච්චත් එක්ක තඹ සන්නස ලැබුණු කුඹුරට ගියා. ගොඩක් අය ඇවිත් හිටියා. ගමේ කථා තව ගල්කණු එහෙම තියෙනවද ගරා වැටුණු ගොඩනැගිලි තියෙනවද කියලත් ඇහුවා. වෙලේ හැමතැනම පරීක්ෂා කළා. පරණවිතාන මහත්තයා ගස් හෙවණකින් වාඩිවෙලා තඹ තහඩුව අතට අරගෙන හරියට දැන් පොතක් කියවනවා වගේ ඒකේ තියන දේවල් කියවාගෙන කියවාගෙන ගියා. ඒ කියන ගමන් අප්පුච්චාට ඒකේ තේරුම කියා දුන්නා.
‘‘ මට මතකයි එතුමා කිව්වා මේක සිංහල ඉතිහාසය වෙනස් කරන සොයා ගැනීමක් කියලා. පොළොන්නරුවේ රජකරපු වෙන රජකෙනෙක් කියලා තිබුණලූ එයා තමයි ඉස්සෙල්ලාම තඹ සන්නස් ලියන්න පටන්ගත්තේ කියලා. නමුත් මේ සන්නස ඊට ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා ලියපු එකක් කියලා පරණවිතාන මහත්තයා කිව්වා. පස්සෙ කාලෙක මම දරුවන්ගෙන් දැන ගත්තා මුලින්ම තඹ සන්නස් ලිව්වා කියා කියල තියෙන්නේ නිශ්ශංකමල්ල රජ්ජුරුවෝ කියලා ’’
පළමු විජයබාහු රජු විසින් කරන ලදැයි සැලැකෙන රාජකීය ප‍්‍රදානයන් ඇතුළත් මේ තඹ සන්නස පනාකඩුවෙන් සොයාගත් බැවින් අද එය හැඳින්වෙන්නේ පනාකඩුව තඹ සන්නස යනුවෙනි. මෙය තඹ තහඩු තුනක ලියා ඇති අතර ඉන් එකක දිග අඩි එකයි අගල් දෙකහමාරකි. පළල අ`ගල් තුනක් හා සාමාන්‍ය ඝනකම අ`ගලකින් අටෙන් එකක් වේ. මේ සන්නස රාත්තල් දෙකකුත් අවුන්ස දෙකහමාරක් බරැුතිය. මෙහි පත්ඉරු තුනක් තිබේ. එක් ඉරුවක පේළි හත බැගින් ලියූ අකුරු පේලි විසි අටකි. සාමාන්‍ය අකුරක් සෙන්ටිමීටර 1.2 ක් උසැති අතර පළල මිලිමීටර නමයක් බව එපිග‍්‍රැෆියා සිලනිකා නම් ස`ගරාවේ පස්වැනි වෙළුමේ පළමු කාණ්ඩයේ දැක්වේ.
මුල් තඹ ඉරුවෙහි ඇතුල්පැත්තේත් මැද ඉරුවෙහි දෙපැත්තේමත් අවසන් ඉරුවේ ඇතුල් පැත්තේත් පමණක සටහන් තබා තිබේ. එහි එක්පැත්තකින් බැඳ තිබූ බවට අනුමාන කළ හැකි සිදුරු දෙකක් ද දක්නට ඇත.
අනුරාධපුරයේ රජ කළ හතරවැනි මිහිදු රජුගේ පුත් පස්වැනි සේන රජුගේ පුත‍්‍ර රත්නය කාශ්‍යප බව ද කාශ්‍යප රජුගේ පුතු මොග්ගල්ලාන බව ද උලකුඩය දේවියගේ ගැන සඳහන් සෙල්ලිපියකින් තහවුරු වී ඇත. මොග්ගල්ලාන ලෝක ශාසන විෂයෙහි පණ්ඩිතයකු බවට පත්ව රෝහණ දේශය පාලනය කරමින් විසුවේය. ඔහුගේ බිසව වූයේ දාඨෝපතිස්ස රජුගේ පරපුරේ උපන් බෝධි නම් රජකුමරකුට දාව එම වංශයෙහිම බුද්ධා නම් කුමරිය ලෝකිතා නම් කුමරියක වැදුවාය. මොග්ගල්ලානගේ බිසව වූයේ ලෝකිතා කුමරියයි. මේ යුවලට කිත්ති, මහින්ද, රක්ඛිත සහ මිත‍්‍රා නම් දරු සිවුදෙනකු වූහ.
තෙලෙස් වැනි වියට පත් කිත්ති කුමාරයා ධනු ශිල්පයෙහි අති දක්ෂයෙක් වූවේය. හෙතෙම බුද්ධරාජ හෙවත් බුදල්නා නැමැති සෙනෙවියකුගේ රැුකවරණය යටතේ රුහුණේ ගම්දනව්හි ජීවත් වූ බව අපගේ වංශකථා සාක්ෂි දරයි. කිත්ති කුමාරයා රුහුණේ සිට සේනාරැුස්කොට චෝලයන් සමග සටන්වැදී මහා විජයබාහු නමින් රජවූවේය.
පනාකඩුව තඹ සන්නස යනු ලක්බිම එක්සේසත් කැර සොළීන්ගෙන් මේ රට මුදවාගැනීමට කුඩා කළ පටන් තමන්ට උදව් උපකාර කළ රුහුණු සෙන්පති සිත්තරුබිම් මහළු බුදල්නාවන්ට මහා විජයබාහු රජතුමාගෙන් ලැබුණු වරදාන පිළිබඳ ලේඛණයයි.
තම කුඩා කාලයේ විඳින්නට වූ දුක් ගැහැට පිළිබඳ රජතුමාගේම වචන වලින් එහි සඳහන් කැර තිබෙන්නේ ඉතා කෙටියෙන් වුවත් බොහෝ මානුෂික හැ`ගීම් ජනිත කරවන ආකාරයෙන් බව මහාචාර්ය පරණවිතාන මහතා පවසයි. ඒ අදහස් සෘජුව සහ අවංකව සටහන් කොට තිබීමත් සිත් කා වදින වචන යොදා ගැනීමත් විශේෂත්වයකි. පරණවිතාන මහතා පවසන්නේ තම ආඥාවක් යටතේ ලියවුණු ලේඛණයකින් තමන් ගැන තමන්ම සඳහන් කරන රජකු මුල්වරට හමුවූයේ පනාකඩුව තඹ සන්නසින් බවයි.
ලංකාද්වීපය එක්සේසත් කොට විසි වසක් ඉකමවූ හෙවත් රජ පැමිණ විසි හත් වසක් ඉක්මවූ කැති සමයේ දෙවැනි වප් මස අවත සතවත් දිනයක මේ සන්නස අනුරාධපුර රාජ මාළිගාවේ දී සහෝදර වූ ආදිපාද, මහාදිපාද යුවරජ ආදී රාජ සමූහයා සහ සියලූ අමාත්‍ය මණ්ඩලය අභිමුඛයේදී මේ සන්නස මහළු බුදල්නාවන්ට පිරිනැමූ බව එම ලේඛණයේම දැක්වේ.
තඹ සන්නසේ මෙසේ දැක්වේ.
‘‘ රුහුණු දඩනායක සිත්තරු බිම් බුදල්නාවන් අප සොළී දෙමළුන්ගෙ ආයුධ බලයෙන් ස්වකීය රාජ්‍ය බලයෙන් පිරිහී වනයෙහි සැ`ගවී වාසය කරන කල අප පියා වන මහා ස්වාමි මුගලන් රාජෝත්තමයාණන් වහන්සේ ආදී සම්පූර්ණ රජ පවුල සිය පිරිසෙන් ආරක්ෂා කොට අප බාල කාලයෙහි හදා වඩා මුල් පල ආහාරවලින් පෝෂණය කොට පා තැබූ තැබූ තන්හි සොයමින් හැසිරෙන සතුරන් කෙරෙන් වලකා තැන් තැන්වල යුද්ධ කොට රුහුණු ජනපදය නැවතත් එක්සත් කොට වනයෙන් ඉවත් කොට ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවා’’ යනුවෙන් බුදල්නාවන් විජයබාහු රජුට කළ උපකාර මේ තඹ සන්නසෙහි සිහිපත් කොට තිබේ.
සන්නස ප‍්‍රධානය කරමින් රජු ආඥා නිකුත් කරන්නේ බුදල්නාවන්ගේ පරපුරයෙහි යම් අයකු ද`ඩුවම් කළ යුතු වරදක් කර ඇතත් වරද තීරණය කොට කරනු ලබන තර්ජනයකින් මිස ද`ඩුවමක් නොකළ යුතු බවයි. සිර ගේ දැමීම හෝ මරණ දණ්ඩනය නියමකළ යුතු වරදක් කළේ වී නමුත් තුන්වන වාරය දක්වා සමාව දිය යුතු බවයි. එමෙන්ම ඔවුන්ගේ ඉඩම් කොටස් හෝ පරවෙණි ගම් නොගැනීම ද , යම් පමණ රාජද්‍රෝහී කමක් කළත් රජුම ඔහු වෙත ගොස් බලා අභය දානය කොට රටින් පිටුවහල් කරනු මිස නිග‍්‍රහ නොකිරීමටද තම ක්ෂතී‍්‍රය පරපුර වන්නා වූ ඔකාවස් රාජ පරම්පරාව විසින් මතුවට ද සිත් තබාගත යුතු බව පවසමිනි.
කි‍්‍රස්තු වර්ෂ 1087 හෝ ඒ ආසන්න වර්ෂයකදී අනුරාධපුරයේදී ප‍්‍රධානය කළ තඹ සන්නස එකිනෙකාගේ අතට පත්වී අවසානයේ පොළොවේ ගිලී තිබී යළි අනුරාධුපරයේදී මහාචාර්ය සෙනරත් පරණවිතාන අතට පත්වූයේ වර්ෂ 850 ටත් පසුවය.
එකළ තිබූ දේපොළ පිළිබඳ ආඥා පනත අනුව මේ තඹ තහඩුව සම්බන්ධයෙන් කටයුතු කිරීම තරමක් පැටලිලි සහිත දෙයක් වී තිබේ. මෙය සොයාගත් තැනැත්තා ඒ පිළිබඳ බලධාරීන්ට දන්වා තිබුණේ නැත. එය පුරාවිiා දෙපාර්තමේන්තුවට ලැබුණේ වෙනත් පාර්ශවයක් මගිනි. ඒ නිසා පරිත්‍යාග ලැබීමට අර්නෝලිස් මහතාගේ අප්පුච්චා වූ කරෝලිස් අප්පුහාමි සුදුස්සකු වූවේ නැත.
‘‘ හදිසියේම මහත්වරු වගයක් ඇවිත් අපෙ අප්පච්චීගෙන් ඇහුවා අර තඹ සන්නස ගැන දැනගත්තු අගමැති තුමා තෑග්ගක් දෙන්න තීරණය කරලා තියෙනවා ද කියා. එතකොට එයාලා ඇහුවා ඉඩම් අක්කර පනහක් දෙන්න ද නැතිනම් රුපියල් 500 ක් දෙන්න ද කියලා. මේ 1950 අවුරුද්දේ අවුරුදු මාසය වගේ තමයි මට මතක. ඉතින් අපි හැමෝම කිව්වේ අපිට රුපියල් 500 ක් දෙන්න කියලා. ඊට ටික දවසකට පස්සේ අගමැති ඞී.එස්.සේනානායක මහත්තයා ආපු වෙලාවේ අපේ තාත්තාට එතුමාගේ අතින් රුපියල් 500 ක් දුන්නා. ඒක මහා නිධානයක් ලැබුණා වගේ. බැංකුවට සල්ලි දාලා පොත තමයි ලැබුණේ. ඉදලා හිටලා අප්පුච්චා ගිහින් රුපියල් 10 ක් විතර අරගෙන ඇවිත් මාසයක් විතර අපි හොඳට කනවා බොනවා. ඒ විතරක් නෙවෙයි අපේ අයියාගේ මංගල්‍යය ජයටම ගත්තේ ඒ සල්ලි වලින්. ’’
අප්පුච්චා ජීවත් වූ නිවස දැන් දක්නට නැත. එය නවීකරණය කැර තිබේ. පනාකඩුව ගමගේ බේබි හාමි සමග විවාහ වී සිටි කරෝලිස් අප්පුහාමිට දරුවන් අටදෙනෙකි. සයිමන්. චාර්ලිස් සිඤ්ඤේරි නමැති වැඩිමහල් සොහොයුරන් තිදෙනකු ද ජිනදාස නම් බාල සහෝදරයෙක් ද අර්නෝලිස් ට සිටියේය. ඩිංගිහාමි සහ රත්නවතී නැමැති සොහොයුරන් දෙදෙනකුද දැනට නම මතකයේ නැති සොහොයුරියක ද සිටින බව අර්නෝලිස් පවසයි.
අර්නෝලිස් පවසන්නේ සන්නස නිසා මුදල් ලැබුණ ද තම පරපුර ගොවිතැන් කටයුතු අතහැර නොදැමූ බවයි.
‘‘ අපි ඕවයේ වටිනාකම දන්නේ නැහැ. ලෝකෙටම වටිනා දෙයක් කිව්වට ඕක වී මල්ලකටවත් දී ගන්න බැරිවුණු දෙයක්. ඒ කාලේ තෑග්ගක් ලැබීම ගැනනම් සන්තෝෂයි. අපි විවාහ වෙලා යන්තම් දරුමල්ලන් හදාගෙන ජීවත් වෙනවා. අපි ගැන කිසිම සෙවීමක් බැලීමක් නැහැ. එක අතකට හිතෙනවා එහෙම ඕනත් නැහැ කියලා. ’’ අප යනවිට ගොවිතැන් වැඩ නිමවා අමුඩ ලේන්සුව පිටින්ම සිටි අර්නෝලිස් අව්‍යාජ සිනහවකින් මුව සරසාගෙන එසේ කීවේය.
පාසල් පෙළ පොතෙහි අටවැනි ශ්‍රේණියේ සිංහල පොතේ මේ ගැන සඳහන් වූ බැවින් පනාකඩුව තඹ සන්නසේ කථාව මුළු රටම දන්නා කරුණකි. පනාකඩුවේ තරුණ තරුණියෝද ඒ ගැන දනිති. එහෙත් තඹ සන්නස ලැබුණු ස්ථානයත් හමුවූ පවුලේ උදවිය ගැනත් දන්නේ ටික දෙනකු පමණි.
මෙරටින් හමුවූ වටිනාම ලේඛණය ලෙස තවමත් පිළිගන්නා පනාකඩුව තඹ සන්නස හමුවූ ස්ථානයේ කුඩා ස්මාරකයක් හෝ සකස් කිරීම සුදුසුයැයි අප සමග මේ ගමනට එක්වූ විශ‍්‍රාමලත් විදුහල්පති ජයතිස්ස කුමාරසිංහ මහතා කීවේය.
පනාකඩුව ගම්මානය තවමත් නූතන සංකීර්ණ ලෝකයෙන් ඈත්ව පිහිටි ගැම සුවඳ වහනය වන දුෂ්කර ගම්මානයකි. එහි ගැමියෝ බතින් බුලතින් සරු සාර තම ගමේ සෑම අස්සක් මුල්ලක් නෑර වගා කරති. රජ පරපුරක ඇත්තෝ ජයකෙහෙළි නැංවූ මේ ප‍්‍රදේශයේ පැරණි නෂ්ඨාවශේෂ දක්නට නොලැඹුන ද වෙහෙරතැන්න නමින් හැඳින්වූ තැනක් පිළිබඳවත් මාඋනාවල උමගක් ගැනත් ගැමියන් පවසන්නේ ගවේෂණය කළහොත් අතීත නටඹුන් මතුකැරගත හැකිවේයැයි සඳහන් කරමිනි.

මෙම ගම්මානයට ගිය ගමනේදී අපට සහයදුන් විශ‍්‍රාම ලැබූ විදුහල්පති වරුන්වන ජයතිස්ස කුමාරසිංහ මහතාට, සෝමසිරි ලොකුකරවිට මහතාට, මාතර බෙන්ගමුව මහා විiාලයේ ආචාර්ය නුශාන්ත ගමගේ මහතාට සහ පී.ජී.ජිනපාල මහතාට අපගේ විශේෂ ස්තූතිය හිමිවේ.

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. Sajeewa aiya this is a really great work. bohoma watina wedak

      Delete
  2. විස්තරෙත් පින්තූර ටිකත් බොහොම වටිනවා..

    මගේ අදහස විදිහට පින්තූර ටික විස්තරයෙන් පහළට හෝ විස්තර මැදට ආවානම් වඩා හොඳයි..මුලින්ම පින්තූර ටික දැක්කම උතුර දකුණ මාරුවෙනවා..අනික තමයි එකගොඩේ විස්තරය කියන්න අමාරුයි..

    පින්තූර ගැන විස්තර කියන්න Add caption පාවිච්චි කලෑකි...අනික පින්තූර මැදින්ම දානවාට වඩා දෙපසට දැම්මානම් ලිපියේ දිගත් අඩුවේවි...

    ReplyDelete