Sunday, January 8, 2012

අශ්ව කෝච්චියේ තැපැල් සේවය





අලූයම පහට නිකුත් කැරෙන වෙඩි හඬත් සම`ග සිරිත් පරිදි ගමන් ආරම්භ කළ යුතුව ඇතත් බොහෝ විට එසේ නොවන කෝච්චිය, ගාල්ලේ සිට කොළඹට එන ගමන සඳහා එකොළොස් පැයක් හෝ එකොළොස් පැය හමාරක් හෝ ගත කරයි. කෝච්චිය මගීන් කැන්දා ගැනීම වෙනුවට නිතර සිදු වන්නේ මගීන් ගොස් කෝච්චිය කැන්දා ගෙන ඒමය. අනෙක් බොහෝ ආසියාතිකයන් මෙන්ම ලංකා වැසියන්ද කාලයේත් කලට වේලාවට වැඩ කිරීමේත් අගය ගැන සැලකිල්ලක් නොදක්වන හෙයින් ගාල්ලෙහි අප වාසය කළ කාලය තුළ එහි සිට කොළඹට පැමිණීම සඳහා කෝච්චිය කැන්දා ගන්නට අපටද කීප වරක්ම සිදු විය.
ලංකාවේ දක්ෂිණ අධිකරණ කලාපයේ හිටපු නියෝජ්‍ය රාජ නීතීඥ හෙන්රි චාල්ස් සර් මහතා විසින් ලියන ලද සිලෝන් ඇන්ඞ් සිංහලීස් නම් ග‍්‍රන්ථය ලංකාව හා සිංහලයෝ නමින් සිංහල භාෂාවට පරිවර්ථනය කරනු ලැබූ පේ‍්‍රමචන්ද්‍ර අල්විස් මහතා ගාල්ලේ සිට කොළඹ දක්වා ගමන් ගත් තැපැල් කෝච්චිය පිළිබඳ සිය කෘතියෙහි එලෙස සටහන් කර තිබේ.
1832 දී සර් රොබර්ට් විල්මට් හෝර්ටන් ආණ්ඩුකාර වරයාගේ මැදිහත් වීමෙන් කොළඹ හා මහනුවර අතර තැපැල් හා මගීන් ගෙන යාමට තැපැල් කෝච්චිය නම් ප‍්‍රවාහන සේවය ආරම්භ කරන ලදී. එය ආසියාවේ ආරම්භ කැරුණු මේ ආකාරයේ ප‍්‍රථම ප‍්‍රවාහන සේවාව ලෙසද සැලකේ. ඉන් වසර හයකට පසු එනම් 1838 ජූලි මස 02 වැනි දින ද ගෝල් රෝයල් මේල් නමින් ගාල්ලේ සිට කොළඹ අතර අශ්ව කෝච්චි ප‍්‍රවාහණ සේවය ආරම්භ කරන ලදී.
1964 දී සීන් සිලෝන් ග‍්‍රන්ථය ලියන ආචාර්ය ආර්.එල්.බ්‍රෝහියර් සඳහන් කරන්නේ පෙඞ්රික් නෝර්ත් ආණ්ඩුකාර වරයා විසින් 1814 දී ගාල්ල කොළඹ මුහුදු බඩ මාර්ගය ඉඳිකිරීමේන් පසු මෙම නගර දෙක සම්බන්ධ කරමින් කි‍්‍රස්ටොෆ්ල්ට්ස් කෝච් නම් ප‍්‍රවාහණ සේවයක් ආරම්භ කළ බවයි. එය දිනපතා කාලතුවක්කු ශබ්දය සම`ග කොළඹ කොටුවෙන් පිටත්ව ගාල්ල කොටුවට පැමිණෙන බවත්. එය කොතරම් වේගයෙන් ධාවනය වුවත් ඊට වඩා හයියෙන් යාම අවශ්‍යතාවයක් ලෙස පැවති බවත් පවසන බ්‍රෝහියර් කියන්නේ මෙම රථය ගමනාන්තයට ල`ගා වන විට බොහෝ ඇඳිරි වැටී තිබුණු බවයි. පසු කළෙක රෝයල් මේල් නම් ප‍්‍රවාහණ ක‍්‍රමය භාවිතයට පැමිණි බව සඳහන්ව ඇතත් එතෙක් භාවිතා කළ කි‍්‍රස්ටොෆ්ලට්ස් කෝච් ප‍්‍රවාහණ සේවය පිළිබඳ වැඩි විස්තරයක් දක්නට නැත. හෙන්රි චාර්ල්ස් සර් විසින් ලියන ලද ලංකාව හා සිංහලයෝ ග‍්‍රන්ථයෙන් යම් නිශ්චිත නිගමනයකට ඒමේ හැකියාව තිබේ.
චාර්ල්ස් සර් පවසන්නේ කෝච්චියේ ආසන වෙන් කරවා ගැනීම සඳහා ගාල්ල කොටුවේ පිහිටි කාර්යාලයට ගිය විට කි‍්‍රස්ටෝපලට්ස් මහතා සිය සුදුවන් දත් පෙළ දක්වා සිනා සුණු බවයි. එසේනම් ඔහු විසින් පවත්වාගෙන ගිය කි‍්‍රස්ටොෆ්ලට්ස් කෝච් නම් පෞද්ගලික ප‍්‍රවාහණ සේවය පසුව ද ගෝල් රෝයල් මේල් හෙවත් තැපැල් හා මගීන් ප‍්‍රවාහණය සඳහා වූ රාජකීය කෝච්චි සේවාව බවට පත්වන්නට ඇතැයි සිතිය හැක. එසේනම් කොළඹ හා නුවර අතර ආරම්භ කරුණු අශ්ව කෝච්චියට පෙර මුහුදු බඩ මාර්ගය තැනූ මුල් අවදියේ පටන් ගාල්ල කොළඹ අතර ධාවනය වූ කි‍්‍රස්ටොෆ්ලට්ස් කෝච් නම් කි‍්‍රස්ටෝපලට්ස් මහතාගේ පෞද්ගලික ප‍්‍රවාහණ සේවය ලංකාවේ පමණක් නොව ආසියාවේම මුල්ම ප‍්‍රවාහණ සේවය වන්නට ඇත.
තැපැල් කෝච්චි කාර්යාලය පිහිටි නිවස අදද ගාල්ල කොටුවේ පෙඞ්ලර් වීදියේ දැකිය හැක. එහි වර්තමාන හිමිකරුවා
චාර්ල්ස් හෙන්රි පවසන පරිදිම කෝච්චිය නියමිත වේලාවට පිටත් නොවන්නක් බව 1854 දී ඩබ්.නයිටන් විසින් ලියන ලද ෆොරස්ට් ලිය්ෆ් ඉන් සිලෝන් නම් ග‍්‍රන්ථයෙන්ද තහවරු වේ..
කෝච්චිය පැමිණිය යුතු නියමිත වේලාව පසුවූ විට මගීහු කෝච්චිය සොයා එහි කාර්යාලයට යති. කුලී කරුවෝ. ඔවුන්ගේ ගමන් මලූ ඔසවාගෙන පැමිණෙති. කාර්යාලයට යන විට කෝච්චිය නවතා ඇත්තේ එම ගොඩනැගිල්ලේ වූ සුවිසල් ආලින්දයේය. එම රථය යටද කෝචිචි සේවකයෝ නිදති. කුලී කරුවෙකු ගලක් රැුගෙන කාර්යාලයේ විශාල දොරෙහි යකඩ සරනේරුවට කිහිප වරක් වැරෙන් පහර දෙමින් කෑ ගසන ශබ්දයට බොහෝ වේලාවකට පසුව දොර විවර වී අයෙකු එළියට එන බව කෝච්චිය ගැන ලියූ ඉංගී‍්‍රසි ජාතිකයෝ පවසා තිබේ.
කෝච්චි හිමියා පැමිණ සේවකයන් නැගිටුවනනේ කෑ ගැසීමට අමතරව ඇතැම් විට අතින් පයින් පහර දෙමිනි. අස් පල්ලෝ අශ්වයන් ගෙන එන්නට දිව යති. අවට සිටි අනෙක් සේවකයන්ගේද සහය ලබාගන්නා කෝච්චි හිමියා රථය ආලින්දයෙන් පිටතට ගනී.
නයිටන් පවසන්නේ එය කිසිවෙකුගේත් සිත් ගන්නා වාහනයක් නොවන බවයි. අතීත තැපැල් කෝච්චිය යනු රෝද හතරක් සහිත අශ්ව කරත්තයකි. රෝද හතර වර්ණ හතරකි. එහි ඇතුලත මගීන් හය දෙනෙකු යාමට හැකියාව ඇත. ඇතුලතද විවිධ වර්ණයන්ගෙන් හැඩ ගන්වා ඇති අතර තැන තැන සිදුරුවූ ආසන වලින් කොහු එළියට පැන තිබේ. සිහින් යකඩ කූරු හතරක් මත රැුඳුණු පියස්ස මැස්සක් සේ දිස්වෙයි. පියස්ස පැතලිය. සමින් තනා ඇත. එය වාර්ණිෂ් ආලේපයෙන් ඔප් නංවා තිබේ. සමින්ම තනා ඇති තිර පියස්සෙන් එල්ලා වැටෙයි. වැස්සෙන් හෝ අව්වෙන් වැළකීම සඳහා එම තිර දිග හැර පහළ දමා ගන්නට හෝ වාතාශ‍්‍රය ලබාගැනීම පිණිස එය උඩට හකුළා දමන්නට හෝ මගීන්ට හැකියාව තිබේ. රථයේ ඉදිරි පසම රියදුරු අසුන පිහිටා ඇත. රියදුරා අසුන් ගත් පසු ඔහුගේ දෙපසින් තවත් දෙදෙනෙකුට සිටිය හැකි තරමට ඉඩ කඩ තිබේ. රියදුරාගේ පිට පෙදෙසත් රථයේ ඉදිරි අසුනේ වාඩිවෙන මගීන්ගේ පිට පෙදෙසත් එකිනෙක ගැටෙන තරමටම සමීප වන පරිදි ඇතුලත පළමු ආසනය පිහිටා ඇත. රථයේ පිටු පස පුවරුවක් මත ගමන් මළු පැටවෙයි. එම පුවරුව දිගින් අඩි තුනහමාරක් හා පළලින් ඉන් අඩකි. මගියෙකුට ගෙන යා හැකි ගමන් මළු වල උපරිම බර ප‍්‍රමාණයක් සඳහන් වේ. එය උපරිමය රාත්තල් විස්සක් පමණි.
තැපැල් කෝච්චිය ධාවනය කිරීම සඳහා අශ්වයන් කෝච්චියට ඈඳීම මහත් සටනකි. සේවකයන් මේ සඳහා දැඩි වෙහෙසක් ගනිති. හෙන්රි චාර්ල්ස් මෙම අශ්ව කෝච්චියේ ගමන් ගත් අවස්ථාවේ එය ධාවනය සඳහා යොදාගෙන ඇත්තේ පීටර් ලෙයාඞ් හා ප‍්‍රින්ස් ලෙස හැඳින්වූ අශ්වයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා මෙවැනි ගමනක් සඳහා කිසි සේත්ම උචිත නොවූ තරම් වූ බවත්. හොඳින් රැුකබලා ගැනීමක් නොමැති සත්වයන් බවත් හෙන්රි චාර්ල්ස් පවසයි. අස්ගොව්වෝ දෙදෙනෙක් එක් අශ්වයෙකුගේ හිස තරයේ අල්ලා ගනිති. අනෙක් අස් ගොව්වෝ අදෙනා ඒ අසු රථය දෙසට ඇද එහි රැුහැන් පටවල්ද අසුට සම්බන්ධ කළහ. අනෙකාද ඉතා අපහසුවෙන් කෝච්චියේ බැඳුණි. කොච්චිය ඇදීම සඳහා අසුනට උපකාරී වන අවසන් රැුහැන් පටද අපහසුවෙන් ගැටගසයි. ගමනට සියල්ල සූදානම්ව ඇත. කෝචිචියේ සේවකයෝ රියදුරා දෙපස, ගමන් මළු මත හා රථයේ පා පුවරුවේ රැුඳී හෝ ගමන් කිරීම සඳහා සූදානම් වෙති. රථයේ පියස්ස පිහිටා ඇත්තේ මෙලෙස ගමන් කරන සියළු දෙනාටම ආවරණයක් සපයන පරිදිය.
කාර්යාලය අසලින් ගමන් ආරම්භ කරන තැපැල් කෝච්චිය ප‍්‍රථමයෙන්ම තැපැල් නිවස හෙවත් ඡුධීඔෂභඨ ්‍යධඹීෑ නැමැති ස්ථානයේ නවතා තැපැල් මළු කෝච්චියට පටවා ගනිති. ඒ ස්ථානයේදීද සිදුවන්නේ කෝච්චියේ සේවකයෙකු ගොස් ගලක් රැුගෙන දොරෙහි යටඩ සරනේරුවට තඩි බෑමයි. විනාඩි කිහිපයකට පසු අවදිවන තැපැල් හලේ සේවකයා තැපැල් මළු ලබාදීම සිදුකරයි. විදේශ රටවල සිට නැව් මගින් ගෙන එන තැපැල් මලූ මෙලෙස කෝච්චියට පැටවේ.
ගාලූ කොටුවේ උස් පහත් කළ හැකි දොරටුවෙන් පිටතට පැමිණෙන අශ්ව කෝච්චිය මාර්ගයට අවතීර්ණ වේ. බ්‍රෝහියර් සඳහන් කරන්නේ මෙම කිසිදු සැකයකින් තොරවම ඉතාමත්ම රමණීය අත්දැකීමක් බවයි. කෙමෙන් නැග එන සූර්යා ලෝකයත් සාගර ජලස්කන්ධයත් අවට ඇති තුරු ගොමු, වන ලැහැබ මෙන්ම ඉමක් නොපෙනෙන සේ වැවි ඇති පොල් රුප්පාවත් යන මේ සියල්ල පාරිසරික සෞන්දර්යය වර්ධනය කරන බව විදේශිකයෝ සිය ග‍්‍රන්ථයන්හි සඳහන් කර තිබේ. රථයට බියවී පලා යන වන සතුන් විදේශික සිත් කුල්මත් කරයි.
රථයෙන් නැගෙන ගර ගර ශබ්දයත්, පොළව මත ධාවනය වෙමින් නැගෙන නාදයත්, අශ්වයන්ගේ කුර ගැටෙන හඬ හා වරින් වර නැගෙන හේශාරව යත් අමුතුම චමත්කාර ජනක අත්දැකීමක් ජනිත කරන්නට සමත්වේ. මග දෙපස ගම්මාන වල නිවෙස්හි ආලින්දයේ නිදා සිටින බොහෝ දෙනෙකු කෝච්චියේ හඩින් අවදි වෙති. ගම් වල සිටින වැඩිහිටියාගේ පටන් කුඩා දරුවා දක්වා සියල්ලෝම මාර්ගයේ දිව යන කෝච්චියට සිය සතුට ප‍්‍රකාශ කරන්නේ සිනා මුසුවය. ඇතැම් විටෙක නිරුව් වානරයන් සමූහයක් මෙන් වූ ඔවුහු කෝච්චිය සම`ග කොළඹට යන්නාක් මෙන් පසු පසින් දිව එති. මේ අතරින් බොහෝ කොළු ගැටවු නිරුවතිනි.
කෝච්චි ගමනේ අපූර්ව අත්දැකීමක් වන්නේ ගං`ගා තරණයයි. ගාල්ල කොළඹ අතර මහා මාර්ගයේ ප‍්‍රථම පාලම ලෙස 1879 දී කළුතර පාලම සාදන තෙක් ගංෙ`ගන් එගොඩවීමට සිදුවූයේ පාලම් පාරුවෙන් හෝ බෝට්ටු එකිනෙක තබා බැඳ ඒ මත ලෑලි අතුරා සකස් කරන ලද බෝට්ටු පාලම් මතිනි. ඉතාමත් සෙමෙන් සීරුවට කැරෙන මෙම එගොඩවීමේ කාර්යය රථයේ ගමන් කරන මගීන්ට සොඳුරු අත්දැකීමක් විය.
බ්‍රෝහියර් පවසන්නේ ඡුධීඔෂභඨ ඍෑීඔ ්‍යධඹීෑ හෙවත් තැපැල් තානායම් තිබූ බවත් ඒවායේ නවතා ආහාර ගැනීමට හෝ අවශ්‍යනම් නවාතැන් ගැනීමටත් පහසුකම් එකළ තිබූ බවයි. මේ බව පේ‍්‍රමචන්ද්‍ර අල්විස් මහතා හෙන්රි චාර්ල්ස් සර්ගේ ලංකාව හා සිංහලයෝ ග‍්‍රන්ථය පරිවර්ථනය කිරීමේදී සඳහන් කර ඇත්තේ කෝච්චිය උදේ දහයට බෙන්තොටදී පාතරාසය අනුභව කරතැයි සඳහන් කළ යුතුය යනුවෙනි. ලංකාවේ බසින් බොජුන් හල් හෙවත් තානායම් යනුවෙන් හැඳින්වෙන සියල්ල රජයේ දේපල වශයෙන් පවත්නා අතර ගනුදෙනුකරුවන්ට සැපයෙන කෑම් පීම් සඳහා වෙළෙඳපොළේ මිලට වඩා සියයට විසි පහක් පමණක් වැඩිපුර අය කිරීමට ඒ තැනවල සේවයෙහි යෙදැවී සිටන මිනිසුන්ට නීතියෙන් අවසර ලැබී තිබේ. යනුවෙන් එහි වැඩිදුරටත් දැක්වේ.
අල්විස් මහතා පරිවර්ථනය කර ඇති පරිදි හෙන්රි චාර්ල්ස් සර් පවසා ඇත්තේද මෙම තානායම් සුන්දර පරිසරයක සැප පහසු හා තරමක් හොඳ නවාතැන් වුවද යුරෝපය, ආසියාවේ අනිකුත් රටවල් හා අපි‍්‍රකාවේ මෙන්ම ලංකාවේ තානායම් හිමියන්ද ඔවන් සපයන ඉතාමත්ම සුළු ආහාරයකට හා කුඩාම නවාතැන් පොළකට වුවද හැකිතාක් වැඩි මුදලක් අය කළ බවයි.
මේ බව බ්‍රෝහියර්ද සිය ග‍්‍රන්ථයේ සඳහන් කර ඇත. මෙම තානායම් වල මිළ ගණන් කෝචිචියේ යන සාමාන්‍ය කෙනෙකුට දැරිය නොහැකි බවයි. රිය පදවන තැනැත්තා කෝච්චිය තානායමේ නතර කිරීම නිසා තානායම් හිමිකරු ඔහුට සන්තෝෂම් මුදලක් ගෙවන බවද බ්‍රෝහියර් සඳහන් කර තිබේ. එකළ බෙන්තොට හා කළුතර තානායම් කෝච්චියේ අතර මැද නවාතැන් විය.
තැපැල් කෝච්චියේ ගමන කෙළවර වන්නේ කොළඹ කොටුවෙනි. මග දෙපස සිටින්නේ කෝච්චියේ එන අමුත්තන් බලන්නට ඇතුලට හොඳට එබිකම් පාති. ගාලූ මුවදොර පිටියේ කෙළවරින් කොළඹ කොටුවේ ආරක්ෂක පවුරේ ඇති ඉවත් කළ හැකි ලෑලි පාලම මතින් කොටුවට ඇතුළුවන කෝච්චිය කොළඹ කොටුවේ ප‍්‍රධාන වීදිය දිගේ ඉදිරියට ඇදී ගොස් එකළ බේලි වීදිය හෙවත් වර්තමාන මුදලිගේ මාවතේ පෝස්ටින් හවුස් නම් කාර්යාලය ඉදිරිපිට නතර වෙයි. ගාල්ලේ සිට කොළඹට පැමිණි චමත්කාර ජනක ගමනේ නිමාව එයයි. අන්තිම මගියාත් බැස ගිය පසු කෝච්චියේ රියදුරා තමන් සම`ග පැමිණි අමුත්තන් පිළිබඳ සියළු විස්තර පතුරුවා හරින්නේය. මොහොතකින් කොළඹ කොටුවම අලූත් අමුත්තන්ගේ තරා තිරම රැුකියාව පමණක් නොව නවාතැන් ගන්නා ස්ථාන පවා දැන ගනී.
තැපැල් කෝච්චිය ගාල්ලෙන් පිටත් වීම උදෑසන හයට සිදුවූ අතර එය කොළඹට ආසන්න වීමට නියමිත වූයේ සවස හතරහ මාරට වුවද බොහෝ විට පැය ගණනක් ප‍්‍රමාද වන්නේ රියදුරාගේ උදාසීනත්වයත් අශ්වයන්ගේ හිතුවක්කාර බවත් හේතුවෙනි. නැවත පසුදා උදෑසන හයට කොළඹින් ගමන් අරඹන කෝච්චය සවස හතරහමාර වන විට ගාල්ලට ල`ගා විය යුතුය. සවස හයට කොළඹින් පිටත් වන රාතී‍්‍ර තැපැල් කොච්චයක්ද වූ බව සඳහන් වේ. එය ගාල්ලට සේන්දු වන්නේ පසුදා සූර්ය උදාවෙන් පසුව බව පැවසේ.
චාර්ල්ස් සර් මෙන්ම බ්‍රෝහියර් සඳහන් කරන්නේ කෝච්චියේ ගමන් කිරීම සඳහා අය කළ මිල ගණන් ඉතාමත්ම අසාධාරණ අගයක් ගත් බවයි. ගාල්ලේ සිට කොළඹට ගාස්තු යනුවෙන් සඳහන් කළ පුවරුවක යුරෝපීය මහත්මයෙකුට පවුම් දෙකයි සිලම් 10 යි ලෙසද, දේශීය ප‍්‍රභූවරයෙකුට හෝ ඔහුගේ යැපෙන්නකුට පවුම් එකයි සිලිම් 10 ලෙසද, පෙරකදෝරුවෙකුට හා සාමාන්‍ය දේශීය වැසියෙකුට පවුම් එකයි ලෙසද මුදල් අයකරන බව සඳහන් කර තිබී ඇත. මෙම අයකිරීම දැරිය නොහැකි තරම් විශාල මුදලක් වූ බව බ්‍රෝහියර් සිය සීන් සිලෝන් ග‍්‍රන්ථයේ සඳහන් කර ඇත.
එකළ තැපැල් කෝච්චියේ රියදුරු පෘතුගීසි ජාතිකයෙකු බව හෙන්රි චාර්ල්ස් සේම ඩබ්.නයිටන්ද පෙන්වාදී තිබේ. ඩබ්.නයිටන් මෙම රථයේ ගමන් කර ඇත්තේ 1843 වර්ෂයේදීය චාර්ල්ස් සර් ගමන් කළ වර්ෂයක් සඳහන් නොවූවද එයද 1840 හා 1850 අතර වකවානුවක විය යුතු බව ඔහුගේ අනෙකුත් සටහන් පිරික්සන විට පෙනී යයි. බ්‍රොහියර්ගේ සටහන් අනුව 1868 වන විට තැපැල් කෝච්චි සේවයේ හිමිකාරීත්වය ජොහන්නා මොරිස් මහත්මිය, ආචාර්ය පී.ඞී.ඇන්තනිස් හා හෙන්රි දියෝනිසස් ඇන්ඩෲ නැමැති තිදෙනෙකු සතුව තිබී ඇත. එම වර්ෂයේදී මෙම තැපැල් කෝච්චි සේවයට කළමණාකරුවෙකුද සිටි අතර ඔහු විලියම් ෆෝර්ඞ් ජෑන්ස් නම් වූ බවද බ්‍රෝහියර් පවසයි.
තැපැල් කෝච්චියේ ආසන වෙන්කරවා ගැනීමේ කාර්යාලය ගාල්ල කොටුවේ පෙඞ්ලර් වීදියේ අංක 44 දරණ නිවසේ උඩුමහලේ පිහිටා තිබුණි. මෙම නිවස අදටද ගාලූ කොටුවේ දැක ගත හැක. වරින් වර විවිධ වෙනස්කම් වලට භාජනය වී ඇති නිවසේ අංකයට 96 ලෙස වෙනස් වී තිබෙ. එහි වර්තමාන හිමිකරුවා පිලිප්ස් ගේ‍්‍ර නම් බි‍්‍රතාන්‍ය ජාතිකයෙකි. ඔහු ලංකාවේ නැත. ඔහු හෝ නිවස භාරව සිටින්නන් කිසිවෙකුත් මෙම නිවසේ ආසියාවේ පළමු ප‍්‍රවාහණ සේවය විය හැකි කි‍්‍රස්ටෝපලට්ස්ගේ අශ්ව කෝච්චිය හෝ ද ගෝල් රෝයල් මේල් නම් ලංකාවේ දෙවැනි ප‍්‍රවාහණ සේවය හෝ පවත්වාගෙන ගිය බවක් නොදනී.
ලංකාවේ දුම්රිය මාර්ග තැනීම හා මෝටර් රථ හඳුන්වා දීමත් සම`ග අශ්වයන් බැඳි තැපැල් කෝච්චිය ක‍්‍රමයෙන් අභාවයට යන්නට ඇත. පසු කලෙක රෝයල් මේල් නම් සඳහන් කැරුණු ගොනුන් බැඳි කරත්තයක් ගාල්ලේ තැපැල් කටයුතු සඳහා ධාවනය වී තිබේ.
රාජකීය තැපෑල නමින හැඳින් වූ මේ පුදුම එළවන සුළු වාහනය දුටුවානම් බි‍්‍රතාන්‍යයේ බි‍්‍රතාන්‍යයෙ මහා රාජිනිය දුටුවානම් ඇය මහත් විශ්මයට පත්වනු ඇතැයිද මෙවන් විශ්මිත රථයක් හා අතිශය සුන්දර වූ ගමනක් ඇයගේ කිසිදු යටත් විජිතයක නොතිබෙන්නට ඇතැයි ඩබ්.නයිටන් මහතා පවසයි.

2 comments: